ඉරාන මාධ්‍යවේදියාට මරණ දඬුවම



රජයට එරෙහිව ජනතාව කුපිත කළේ යැයි යන චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමින්, ඉරාන මාධ්‍යවේදියකු එල්ලා මරා දැමීමට ඉරාන රජය පියවර ගෙන තිබේ.

රුහොල්ලා සාඕ නමැති මෙම මාධ්‍යවේදියා එල්ලා මරා දැමීම ඊයේ (12) සිදුවූයේ මානව ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය මධ්‍යයේය. මාධ්‍යවේදියා එල්ලා මරා දැමීම සම්බන්ධයෙන් බටහිර රටවලින් ඉරානයට අප්‍රසාදය හිමිවී ඇත.

ඉරාන වැසියන් අතරේ අතිශය ජනප්‍රිය ‘අමාද් නිවුස්’ නමැති පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන ගියේ රුහොල්ලා සාඕ ය. ඒ, 2017 සිට 2018 දක්වා කාලයේය. එම කාලයේ ඉරානයේ පැවැති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට රුහොල්ලා සාඕ එක් විය. ඒ, උද්ඝෝෂණකරුවන් මැදට ගොස් ජංගම දුරකතනය යොදා ගනිමින්, පුවත් ඉදිරිපත් කරමිණි.

බටහිර පුවත් නාළිකාවල විකාශය වූයේ ‘අමාද් නිවුස්’ පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගත් වීඩියෝ දර්ශන බව ද පැවැසෙයි. රජය පෙරළා දැමීමට ජනතාව ‘උසි ගන්වනවා’ යැයි ඒ අනුව සාඕ ට චෝදනා එල්ල වුණු අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

නියම වූ මරණ දඩුවම ඉවත් කරන්නැයි සාඕ ඉල්ලීමක් කර තිබුණු නමුත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS