ඉරාන භූමි කම්පාවෙන් 10 ක් මරුට



ඉරානයේ හොර්මොස්ගාන් පළාත ප්‍රබල භූමි කම්පාවකින් සහ පසු කම්පන රැසකින් කැලැඹිණි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ භූමි කම්පාවෙන් 10 දෙනකු මියගිය බවත් 50 කට අධික පිරිසක් තුවාල ලැබූ බවත්ය.

තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය ඉරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද පැවැසෙයි.

භූමි කම්පාව හටගත්තේ අද (2) අලුයම් කාලයේ බණ්ඩාර් අබ්බාස් නගරයට කිලෝ මීටර් 100 ක් නිරිත දෙසින් මුහුදු වෙරළ තීරයට නුදුරිනි. සායේහ් කෝෂ් නමැති ගම්මානය භූමි කම්පාවෙන් මුළුමනින්ම විනාශ වී ඇත.

භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය. ප්‍රධාන භූමි කම්පාවෙන් පසු හටගත් පසු කම්පන දෙකම රික්ටර් පරිමාණයේ ඒකක 6 ට වඩා ඉහළ අගයක් ගත් බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS