ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා සාර්ථක වන ලකුණු



ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරාන රජයේ නියෝජිතයන් සමඟ පැවැත් වූ සාකච්ඡා සාර්ථක වූ බවත්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැනීමට එම සාකච්ඡා ඉවහල් වනු ඇති බවත් ජාත්‍යන්තර ප්‍රරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානී රෆයාල් ග්‍රෝසී පවසයි.

මූලික වටයේ මෙම සාකච්ඡා සාර්ථක වීමත් සමඟ ඉදිරියේ දී ඉරාන රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අතරේ සාකච්ඡා ආරම්භ වනු ඇති බවත්, යළිත් වරක් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගැනීමට හැකි වේවි යැයි තමන් විශ්වාස කරන බවත් රෆයාල් ග්‍රෝසී මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ.

2015 දී, බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, ඇමෙරිකාව, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, ඊට බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, යුරෝපා සංගමය, චීනය සහ රුසියාව හවුල් කර ගැනුණි. සාකච්ඡා සාර්ථක වුණු අතර ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති විය.

එම එකඟතාවට අනුව, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු සීමා කළේය. ඉරානය තරයේ පවසන්නේ, ඔවුන් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහ ආරම්භ කළේ රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට බවය. න්‍යෂ්ටික වැඩසටහන සමඟ එකඟතාවක් ඇති කර ගත් පසු ඇමෙරිකාව ඉරානයට පනවා තිබුණු සම්බාධක පවා ඉවත් කළේය. ඉරානයට කිසිදු බාධාවකින් තොරව තෙල් විකුණා ගැනීමට ද හැකිවිය‍.

ඔබාමාගෙන් පසු බලයට ආ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කළ බැවින්, න්‍යෂ්ටික එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේය. ඇමෙරිකාව ඉවත් වුවත් සෙසු රටවල් එම එකඟතාවයෙන් ඉවත් වූයේ නැත. ඉන්පසු යළි ඉරානයට සම්බාධක පැනැවීමට ද ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළේය. ඉරානය, මේ වනවිට පස්වැනි කොරෝනා රැල්ලකට මුහුණ දෙන්නේ ද මෙම ඇමෙරිකන් සම්බාධක හමුවේය.

වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඔබාමා ජනපති ධුරය හොබවද්දී ඇමෙරිකාවේ උප ජනාධිපති විය. ඉරානය සමඟ යළි න්‍යෂ්ටික එකඟතාවක් ඇති කර ගැනීමට බයිඩන් උනන්දුවක් දක්වයි. කෙසේ නමුත් ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රායිසී පවසා ඇත්තේ බයිඩන් සහ ට්‍රම්ප්ගේ කිසිදු වෙනසක් නොමැති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS