ඉරාන තානාපති කාර්යාලයට කඩා වැදිලා



විරෝධතාකරුවන් පිරිසක් ලන්ඩන් නුවර ඉරාන තානාපති කාර්යාලයට කඩා වැදී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

විරෝධතාකරුවන් ඉරාන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට ඇතුළු වී ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේය. තාප්පයෙන් පැන ගොඩනැගිල්ලට පිවිසි එම පිරිස බැල්කනියේ තිබුණු ඉරාන ධජය ඔවුන් ගෙන ගිය බව ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඉරාන රජය සිය අප්‍රසාදය පළ කර ඇති බවත්, ඉරානයේ තෙහෙරාන් නුවර සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා ඔහුට ඒ ගැන දැනුම් දුන් බවත් වාර්තා වේ.

ලන්ඩනයේ ඉරාන තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරීන් සහ තානාපතිවරයාගේ ආරක්ෂාව ගැන වැඩි අවදානයක් යොමු කිරීමට බ්‍රිතාන්‍ය රජය සහ ලන්ඩන් පොලිසිය පොරොන්දුවක් ලබා දී ඇතැයි ඉරාන නියෝජ්‍ය විදේශ ඇමැති අබ්බාස් අරක්චී මාධ්‍ය හමුවේ පවසා තිබේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS