ඉරාන ජනාධිපතිට චීනයෙන් ඇරැයුමක්



‘ෂැංග්හායි සහයෝගීතා සමුළුව’ ලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත අතර, ඊට සහභාගී වෙන්නැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානීට චීනය ඇරැයුම් කර තිබේ.

ආර්ථික සහ වෙළෙඳ කටයුතු ශක්තිමත් කිරීමේ අටියෙන්, ‘ෂැංග්හායි සහයෝගීතා සමුළුව’ පැවැත්වෙයි. සමුළුවට විදෙස් රටවල් රැසක නියෝජිතයෝ සහ ව්‍යාපාරිකයෝ එක් වෙති. සමුළුව සංවිධානය කරන්නේ චීනය සහ රුසියාව එක් වෙමිනි.

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය 2015 වසරේ දී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණියේය. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමාය. වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම එකඟතාවෙන්, ඇමෙරිකාව ඉවත් කරගෙන ඇත.

ඒ අනුව, ඇමෙරිකාව ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත. සෙසු රටවල් ඇමෙරිකා ජනාධිපතිගේ ක්‍රියා කලාපය හෙළා දැක ඇති අතර, ඔවුන් දිගටම ඉරානය සමඟ එම න්‍යෂ්ටික ගිවිසුමට එක් වී සිටී. ගිවිසුම ඇති කර ගැනුණේ ඉරානය විනාශකාරී අයුරින් පරමාණු බෝම්බ නිපදවීම වැළැක්වීම සඳහාය.

ඇමෙරිකාවේ සම්බාධක හේතුවෙන් ඉරානයට ඔවුන්ගේ වෙළෙඳ කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙමින් පවතී. චීනය සහ රුසියාව පෙන්වා දී ඇත්තේ, තමන් හැකි උපරිමයෙන් චීනයට සහාය දක්වන බවය. ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වන්නැයි ඉරාන ජනාධිපතිවරයාට චීනය ඇරැයුම් කර ඇත්තේ ද එහෙයිනි.

(රොයිටර්)


RECOMMEND POSTS