ඉරාන ජනාධිපති පුටින් හමුවෙයි



රුසියාවේ දෙදින නිල සංචාරයකට ගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් මොස්කව් අනුවරදී පැවැත්විණි.

රයිසි, ඉරාන ජනාධිපති ධුරයට පත් වූයේ පසුගිය 2021 අගෝස්තු මාසයේය. ඔහු රුසියාවේ සංචාරයකට ගියේත්, ජනාධිපති පුටින් මුහුණට මුහුණ හමුවූයේත් පළමු වතාවටය. ඊට අමතරව, ඉරාන ජනාධිපතිවරයකු අවසන් වරට රුසියාවේ නිල සංචාරයක යෙදී ඇත්තේ 2017 දී යැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉරානයත් රුසියාවත් අතර පවතින ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ඉරාන ජනාපධිතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වෙයි.

ආරක්ෂක, වෙළෙඳ, ආර්ථික, දේශපාලනික සහ අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් ද ඉරාන ජනාධිපති සහ රුසියන් ජනාධිපති අතර සාකච්ඡා පැවැත්විණි. මොස්කව් අගනුවරට පැමිණෙන්නැයි ඉරාන ජනාධිපතිවරයාට ඇරැයුම් කර ඇත්තේ රුසියන් ජනාධිපති පුටින්ය.

ඉරානය රුසියාව සමඟ මිතුදම් පවත්වාගෙන යන්නේ කොන්දේසි විරහිතව බවත්, ඕනෑම අවස්ථාවක රුසියාවේ සහායට ඉරානය ඉදිරිපත් වන බවත් ඉරාන ජනාධිපති රයිසි, පුටින් හමුවුණු අවස්ථාවේදී පැහැදිලි කළේය.

‘‘ඉරානය සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීම දෙරටේ ආර්ථිකයේ සංවර්ධනයට සහ කලාපය සහ ලෝකය පුරා ආරක්ෂාව වැඩි කිරීමට හේතු වනු ඇත,” යැයි ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

‘ත්‍රස්තවාදයට’ සහ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට එරෙහි සටනේ දී ඉරානයත් රුසියාවත් එකමුතුව කටයුතු කරන ආකාරයට සෙසු ක්ෂේත්‍ර සඳහා ද එක් වී කටයුතු කිරීම වැදගත් බව ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙද්දී, රුසියන් ජනාධිපති පුටින් එය අනුමත කළේය.

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව බටහිර උසි ගැන්වීමෙන් පණ ලැබූ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් යුද වදිද්දී, එම ත්‍රස්තවාදීන් අඩපණ කිරීමට රුසියාවත් ඉරානයත් එක් වී, සිරියානු රජයටත් එරට හමුදාවටත් සහාය ලබා දුන්නේය. ඇෆ්ගනිස්තානයේ සහ කොකේසස් රාජ්‍යයේ පවතින අවුල්සහගත තත්ත්වය සමථයකට පත් කිරීමට ඉරානයටත් රුසියාවටත් හැකියාව ඇති බව ඉරාන ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS