ඉරාන ජනාධිපති ඉන්දියාවේ



ඉන්දියාවේ තෙදින නිල සංචාරයක යෙදෙන ඉරාන ජනාධිපති හසන් රොව්හානි සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් පැවැත්වුණු අතර එහිදී දෙරට අතර ගිවිසුම් රැසකට අත්සන් තැබුණි.

ඉරාන ජනාධිපතිවරයාට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

රොව්හානි ඉරානයේ ජනපති ධුරය හොබවන්නේ දෙවැනි වරටය. රොව්හානිගේ නායකත්වය යටතේ ඉරානය ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය වී ඇතැයි ඉරාන ජනපති හමුවෙමින් මෝදි පෙන්වා දුන්නේය.

ඉරානය ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයකි. ඉරානයේ ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර සමඟිය වර්ධනය කිරීමට ජනපති රොව්හානි කටයුතු කරන ආකාරය අගමැති මෝදිගේ පැසැසුමට ලක් විය.

ඉන්දියාව සහ ඉරානය අතර ගිවිසුම් නවයකට අත්සන් තැබීම මෙහිදී සිදුවිය. දෙරට අතර වීසා සම්බන්ධයෙන් පවතින නීතිරීති ලිහිල් කිරීම, සංගීත සහ වෛද්‍ය ක්ෂේත්‍රයෙන් දෙරට අතර සබඳතා තර කර ගැනීම මෙන්ම චබහාර් වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද ගිවිසුම්වලට අත්සන් තැබුණි.

ඉරාන ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණියේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේය. හමුදා ගෞරව මැද ඉරාන ජනපතිවරයා පිළිගැනීමට ඉන්දීය රජය කටයුතු කර තිබුණි.

ඉරාන ජනපති රොව්හානි, ඉන්දීය ජනාධිපති රාම් නාත් කොවින්ද් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද අමතක නොකළේය. ජනපති රොව්හිනි සමඟ විශේෂ දූත පිරිසක් ද ඉන්දීය සංචාරය සඳහා පැමිණි බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

ඉරාන ජනපතිවරයා මෙසේ ඉන්දීය සංචාරයකට එක් වන්නේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ ඉන්දීය සංචාරයකින් පසුවය. ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී පලස්තීනයට අසාධාරණයක් සිදුවන බව ඉන්දීය ජනපතිවරයාට ඉරාන ජනාධිපති රොව්හානි පෙන්වා දුන්නේය.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී ඉන්දියාව මධ්‍යස්ථ පියවරක් අනුගමනය කරයි. කෙසේ නමුත් පලස්තීනයට අසාධාරණයක් සිදුවන බව ඉන්දීය අගමැති මෝදිගේ අදහස වී ඇත.

එන්.ඩී.ටීවී. සහ
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි


RECOMMEND POSTS