ඉරාන එන්නත සියයට 90 ක් සාර්ථකයි



‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, ඉරාන රජයට අයත් ‘ෂීෆා’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති එන්නත සියයට 90 ක් සාර්ථක යැයි පැවැසෙයි.

‘කොව්ඉරාන් බරකත්’ නමින් නම් කළ මෙම එන්නත සියයට 100 ක් ඉරානයේ නිෂ්පාදනයකි. ‘කොව්ඉරාන් බරකත්’ එන්නත සායනික අත්හදා බැලීම්වලට යොදාගෙන ඇති අතර, එය සියයට 95 ක් සාර්ථක යැයි පැවැසෙන්නේ එහි නිෂ්පාදනයට දායක වූ වෛද්‍ය පර්යේෂකයන්ය.

සායනික අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු 35 දෙනකු සම්බන්ධ කරගත් බවත්, සිතුවාටත් වඩා එන්නත සාර්ථක යැයි ‘කොව්ඉරාන් බරකත්’ එන්නත නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් ප්‍රධානියා ලෙස කටයුතු කරන මොහොමද් රේසා සලේහි මාධ්‍ය හමුවේ පවසා ඇත.

මැදපෙරදිග කලාපයේ, ‘කොවිඩ්  19’ වයිරසයෙන් දරුණු ලෙස පීඩා විඳි රටක් වන්නේ ඉරානයයි. ඉරානය මේ වනවිට ‘කොවිඩ් 19’ වයිරසයේ තෙවැනි රැල්ලට ද මුහුණ දී සිටී. ඉරානය මෙසේ දරුණු ලෙස ‘කොවිඩ් 19’ වයිරසයෙන් බැට කෑවේ ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙනි.

ඉරානයේ ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම ද ‘රාසි’ යන නමින් ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ඇති අතර, එය ද සායනික අත්හදා බැලීම්වලට යොදා ගැනෙයි. එම එන්නත ද සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇතැයි පැවැසෙයි.

මේ වනවිට ඉරානය, රුසියාව සමඟ ඇති මිතුදම් අනුව, රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් 5’ එන්නත මිලදී ගෙන එය ඉරාන වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ. ඉදිරියේ දී ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත, ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ නිපදවන ‘භාරත්’ එන්නත සහ චීන රජයේ අනුග්‍රහය යටතේ නිපදවෙන ‘සිනොෆාම්’ එන්නත ද ඉරාන වැසියන් වෙනුවෙන් ලබා ගන්නා බව ඉරාන රජය නිවේදනය කර තිබේ.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS