ඉරාකයෙන් ඉවත් වෙන්නැයි ඇමෙරිකානුවන්ට උපදෙස්



ඉරාකයේ අත්‍යාවශ්‍ය නොවන රාජකාරි කටයුතුවල නියැලී සිටින නිලධාරීන් හැර සෙසු නිලධාරීන් සැවොම ආපසු ගෙන්වා ගන්නා බව ඇමෙරිකන් රජය නිවේදනය කළේය.

ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය මීට හේතුව වී ඇත. ඉරානය යනු ඉරාකයේ අසල්වැසියාය.

ඉරාකය සහ ඉරානය අතර වසර ගණනක් පැවැති එදිරිවාදිකම් මේ වනවිට අවසන් වී ඇත. ඒ, ඉරාකයේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ඉරානයේ සහාය නොඅඩුව ලැබුණු බැවිනි. ඉරාකය සහ ඉරානය අතර යහපත් සබඳතා වර්ධනය වීම, ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ඉරානය සහ ඇමෙරිකාව අතර අර්බුදයක් පවතින්නේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ ලෝකයේ ප්‍රබල රටවල් අතර පැවැති එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

මේ වනවිට ඇමෙරිකන් ජනාධිපතිවරයා ඉරානයට ආර්ථික සම්බාධක පැනැවීමක් ද කර ඇත. ඉරාන විප්ලවීය හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇත.

ඒ අනුව, මේ වනවිට ඉරානයට ඔවුන්ගේ තෙල් විකුණා ගැනීමේ කටයුතුවලට ද බාධාවක් එල්ල වී තිබේ. දේශපාලන විශ්ලේෂකයන් බිය පළ කරන්නේ ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදය යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවය.

ඉරානය සමඟ අර්බදුයක් පවතින නමුත්, කිසිම අවස්ථාවක ඉරානය සමඟ යුද්ධයකට පැටලෙන්නේ නැති බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පසුගිය දා රුසියාවේ මොස්කව් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවේ කියා සිටියේය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ මේ බව කියා සිටියේ, රුසියාවේ මොස්කව් අගනුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවූ අවස්ථාවේදීය. ඉරානය සමඟ හෝ වෙන කිසිදු රටක් සමඟ හෝ යුද වැදීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහසක් නැති බව යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා තහවුරු කර ඇත.

ඉරාන උත්තරීතර නායක අල් කොමේනී පවසා ඇත්තේ ඉරානය ද කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ යුද්ධයකට පැටලෙන්නේ නැති බවය. ඇමෙරිකාව තමන් යුද්ධයකට පටලවා ගැනීමට උත්සාහ ගන්නා නමුත් තමන් කිසිසේත් ඊට ඉඩක් ලබා නොදෙන බව ඉරාන උත්තරීතර නායකයා ප්‍රතිඥා දී ඇත.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS