ඉරාකයත් කුවේටයත් සීරුවෙන්



ඉරානයට මායිම්ව පිහිටන ඉරාකය සහ කුවේටය ‘කෝවිඞ් 19’ වයිරසය පැතිරේවි යැයි සීරුවෙන් පසුවන බව එරට සෞඛ්‍ය බලධාරීන් නිකුත් කළ නිවේදනවල සඳහන් වෙයි.

ඉරානයේ ‘කෝවිඞ් 19’ වයිරසය රෝගීන් හමුවී ඇති අතර, ඉරාක සහ කුවේට් වැසියන්, නිරන්තරයෙන් ඉරානය බලා යෑම සහ ආපසු පැමිණීම සිදුවෙයි. ඉරාන වැසියන් ද කුවේටයටත් ඉරාකයටත් පැමිණෙයි.

ඉරානයේ ‘කෝවිඞ් 19’ ආසාදිතයන් හමුවී ඇත්තේ කොම් නගරයෙනි. ඉරාක සහ කුවේට් වැසියන් බොහෝ දෙනකු මෙම නගරයට යන එන බව පැවැසෙයි. එහෙයින්, ‘කෝවිඞ් 19’ ඉරාකයටත් කුවේට් රාජ්‍යයටත් පැතිරීමේ අවදානමක් පවතී.  තවමත් ඉරාකයෙන් හෝ කුවේට් රාජ්‍යයෙන් හෝ ‘කෝවිඞ් 19’ ආසාදිතයන් හමුවී නැත.

ඉරාකයේ ප්‍රධාන ෂියා මුස්ලිම් ආගමික නායක අයතුල්ලා අලී සිස්ටානී, ඉරාක බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ ‘කෝවිඞ් 19’ වයිරසය පැතිරීමක් සිදුවුවහොත් ඊට මුහුණ දීමට සූදානම් වන ලෙසය.

(අල් ජසීරා)


RECOMMEND POSTS