ඉරාක අගමැති කඩීමී ඉරානයේ



ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදීමි ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණියේය. ඉරාක අග්‍රාමාත්‍යවරයා හමුදා උත්තමාචාර මැද ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ඉරාන ජනාධිපති ඉබ්‍රහීම් රයිසි කටයුතු කළේය.

ඉරාක අග්‍රාමාත්‍යවරයා තෙහෙරාන් බලා පැමිණියේ ඉරාක විදේශ අමාත්‍ය ෆවුද් හුසේන් ද සමඟය. මොවුන් දෙදෙනා සහ ඉරාන ජනාධිපති රයිසි අතරේ සාකච්ඡා සාදාබාද් මාලිගයේ දී පැවැත්විණි.

ඉරානයට පැමිණීමට පෙර ඉරාක අග්‍රාමාත්‍යවරයා සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් අතරේ පෞද්ලික මට්ටමේ හමුවක් පැවැත්විණි. ඒ, ජෙඩා නුවරදීය. එහිදී සෞදිය සහ ඉරාකය අතරේත්, සෞදිය සහ ඉරානය අතරේත් සබඳතා වර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

ඉරාකය සහ ඉරානය අසල්වැසි රාජ්‍යයන් වන අතර, කාලයක් මොවුන් පස මිතුරන් විය. කෙසේ නමුත් ඉරාකයේ අයි.එස්. සහ අල් කයිඩා ත්‍රස්තවාදීන් අඩපණ කිරීමට ඉරානය සහාය දීමත් සමඟ දෙරට අතරේ මිතුදම් නිර්මාණය විය.

ඒ, ඇමෙරිකාවේ විරෝධය මැදය. ඉරානය ලොව ප්‍රධාන ෂියා මුස්ලිම් රාජ්‍යය වන අතර, ඉරාක රජයේ ද වැඩි ෂියා මුස්ලිම් නියෝජනයක් දකින්න ලැබේ.

ඉරානයත් සෞදියත් අතරේ විරසක පවතී. සෞදිය සුන්නි මුස්ලිම් රාජ්‍යයකි. කෙසේ නමුත් ඉරාකයේ මැදිහත් වීමෙන් සෞදියත්, ඉරානයත් අතර සාකච්ඡා යට කීපයක් පැවැත්වුණු අතර එම සාකච්ඡා සාර්ථක වී තිබේ.

සෞදියේ සල්මාන් කුමරු උත්සාහ ගන්නේ කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා ගල්ෆ් කලාපයේ සියලුම රටවල් අතරේ යහපත් සබඳතා පැවැත්වීමට යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS