ඉරාක - ඉරාන හමුදා සබඳතා



ඉරාක ආරක්ෂක ඇමැතිවරයාගේ ඉරාන සංචාරය අතරතුරේ, ඉරානය සහ ඉරාකය අතර හමුදා සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් රැසකට අත්සන් තැබුණි.

ඉරාක ආරක්ෂක ඇමැති ඉරාෆාන් අල් හයාලී සහ ඉරාන රජය අතරේ එම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබුණේ ඊයේ (23) දිනයේය. ඉරානය නියෝජනය කරමින් එරට ආරක්ෂක ඇමැති හොසෙන් ඬේග්ගාන් ඊට අත්සන් තැබුවේය.

ඉරානය සහ ඉරාකය යනු අසල්වැසි රාජ්‍යයන් දෙකකි. ඉරානය ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයකි. ඉරාකය සුන්නි, ෂියා සහ කුර්දි යන ජනකොටස්වලින් සුසැදිය.

දෙරට අතර ඒකීයත්වයක් අවශ්‍ය බවත්, දෙරට අතර පවතින බැඳීම තව තවත් ශක්තිමත් කර ගැනීමටත් මෙම හමුදා සබඳතා ඉවහල් වනු ඇතැයි ඉරාක රජය පවසා ඇත.

අයි.එස්.අයි.එස්. හෙවත් තක්ෆීරී දයේෂ් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැති ඉරාකයේ දෙවැනි විශාලතම නගරය වන මොසූල් මුදා ගැනීමටට පැවැති මහ සටනේදී ඉරාන හමුදා ප්‍රධානීන්ගේත් නිලධාරීන්ගේත් සහාය ඉරාක රජයට සහ හමුදාවට හිමිවිය.

දේශපාලනික වශයෙන් දෙරට අතරේ මත ගැටුම් පැවැතියත්, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්තවාදීන්ට එරෙහිව පොදු අරමුණකින් ඉරාක සහ ඉරාන රජය කටයුතු කරන බව ඉරාක ආරක්ෂක ඇමැතිවරයා පෙන්වා දී තිබේ.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS