ඉන්ධන මිල හිටිහැටියේ ඉහළට



ඉන්ධන මිල ඉහළ දමා, සලාක ක්‍රමයට ඉන්ධන ලබා දීමට ඉරාන රජය ගත් තීරණය හේතුවෙන් ඉරානය පුරා මේ වනවිට විරෝධතා ආරම්භ වී ඇත.

ඉරාන රජය ඉන්ධන මිල ඉහළ දැම්මේ හිටිහැටියේය. සලාක ක්‍රමයට පෞද්ගලික වාහන හිමිකරුවන්ට මාසයකට ලබා දෙන්නේ පෙට්‍රල් ලීටර් 60 ක් පමණය. ප්‍රෙටල් ලීටරයක මිල පැවැති මිල මෙන් දෙගුණයකින් වැඩි කිරීමට ඉරාන බලධාරීන්ට සිදුවී ඇත.

ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ කෝපයට පත් ඉරාන වැසියෝ ප්‍රධාන නගර රැසක වීදි බැස විරෝධතා පවත්වන්න වූහ.  විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ඉරාන රජය පොලිසිය යෙදවූ බව පැවැසෙයි. විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්ප්‍රහාර එල්ල කෙරුණි.

පොලිසිය සමඟ පැවැති ගැටුම්වලදී එක් විරෝධතාකරුවෙක් ජීවිතක්ෂයට පත් විය. ඉරානයේ විරෝධතා පැවැත්වෙන්නේ අබදාන්, අහ්වාස්, බන්දාර් අබ්බාස්, බිර්ජාන්ද්, ගැච්සරාන්, කොරැම්චාර්, මහ්චාර්, මෂාද් සහ ෂ්රියාස් යන නගරවලය.

ඉරාන රජයට, ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ ඇමෙරිකන් සම්බාධක හේතුවෙනි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයට සම්බාධක පනවා ඇත්තේ ඉරාන ආර්ථිකය අඩපණ කිරීමටය. ඉරානය තෙල් සම්පත්වලින් බහුල රාජ්‍යයක් වුවත්, ඇමෙරිකන් සම්බාධක හේතුවෙන් තෙල් විකිණීම කළ නොහැකි වී තිබේ. ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඉරානයට සම්බාධක පැනැවීමක් කර ඇත්තේ, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට මුවාවී, පරමාණු බෝම්බ නිපදවනවා යැයි චෝදනා කරමිනි.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS