ඇෆ්ගන් සාම සමුළුවක් කටාර් රාජ්‍යයේ



ඇෆ්ගන් රජයේ නියෝජිතයන් සහ තලේබාන් සංවිධානයේ නියෝජිතයන් එක්කර ගනිමින් විශේෂ සාම සමුළුවක් දෝහා කටාර් හි ආරම්භ විය.

මෙම සාම සමුළුව සඳහා කටාර් රාජ්‍යය පමණක් නොව ජර්මනිය ද මැදිහත් වී සිටින බව වාර්තාවේ. වසර 18 ක් තිස්සේ ඔඩුදුවා ඇති ඇෆ්ගන් අර්බුදයට සාමකාමී මෙන්ම දේශපාලන විසඳුමක් සෙවීම සමුළුවේ අරමුණ යැයි පැවැසෙයි. පාකිස්තානයේ විශේෂ නියෝජිත ඕමාර් සකිල්වාල් ද සමුළුවට සහභාගී වන බව වාර්තා වේ.

දෙදිනක් පුරා දෝහා හි පැවැත් වුණු මෙම සාම සමුළුවට ඇෆ්ගන් දේශපාලනඥයන් විද්වතුන් මෙන්ම තලේබාන් සංවිධානය නියෝජනය කරමින් ආගමික නායකයන් සහ ගෝත්‍රික නායකයන් 50 දෙනකු සහභාගී වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සම්බන්ධයෙන් අංශ කීපයකින් සාම කතා කීපයක් පැවැත්වෙයි. තලේබාන් සංවිධානය සහ ඇමෙරිකාව ද වෙනම සාම කතා පවත්වයි. එම සාම කතා මේවනවිට සාර්ථක වෙමින් පවතින බව වාර්තා වේ.

ඇෆ්ගන් තලේබාන්වරුන් සහ ඇෆ්ගන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතරේ ද සාම කතා පැවැත්වෙයි. එවැනි සාම සමුළුවක් මීට මාස කිපයකට පෙර රුසියාවේ පැවැත්විණි. ඒ, රුසියන් රජයේ මැදිහත් වීමෙනි. පාකිස්තානය මැදිහත් වීමෙන් ද තවත් සාම සමුළුවක් පැවැත්විණි.

දෝහාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS