ඇමෙරිකාවෙන් තුර්කියට සම්බාධක



උතුරුදිග සිරියාවේ කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාර වහා නවත්වන්නැයි බලකරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තුර්කියට සම්බාධක පැනවීය.

තුර්කි ආර්ථිකය මුළුමනින්ම අඩපණ කිරීම මෙම සම්බාධකවල අරමුණ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය. සම්බාධක පනවමින් ප්‍රහාර නවත්වන ලෙසත් කඩිනමින් සටන් විරාමයකට යන ලෙසත් ඇමෙරිකන් ජනාධිපතිවරයා තුර්කියට පවසා ඇත.

තුර්කි සිරියානු දේශසීමා හරහා, තුර්කිය උතුරුදිග සිරියාවේ කුර්දිවරුන්ගේ පාලන ප්‍රදේශවලට ඇතුළු වී, කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහරදීම් ආරම්භ කළේ මීට දින 7 කට පෙරය.
ඒ, කුර්දිවරුන් සමඟ සිරියාවේ රැඳී සිටිමින්, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සටන් වැදුණු ඇමෙරිකන් සොල්දාදුවන්ගෙන් කොටසක් ආපසු ගෙන්වා ගැනීමට ජනපති ට්‍රම්ප් කටයුතු ක අවස්ථාවේදීය.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් මෙම තීරණය ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන්ගේ පමණක් නොව, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් සාමාජිකයන්ගේ ද දැඩි විරෝධයට හේතුවක් විය. ඇමෙරිකාව කුර්දි සටන්කාමීන් සහ කුර්දිවරුන් ‘අමාරුවේ’ දැම්මැයි චෝදනා ද එල්ල විය. කුර්දිවරුන් කියා සිටියේ ඇමෙරිකාව තමන්ට ද්‍රෝහිවුණු බවය.

සිරියාවේ උතුරුදිග පළාත්වල අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් අඩපණ කිරීමට ඇමෙරිකාවට හැකිවූයේ මෙම කුර්දි සටන්කාමීන්ගේ සහාය නිසාය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS