ඇමෙරිකාවට නියෝගයක්



ඉරානයට පනවා ඇති නව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක අසාධාරණ බව පෙන්වා දෙමින්, එම සම්බාධක වහා ලිහිල් කරන්නැයි ජාත්‍යන්තර අධිකරණය ඇමෙරිකාවට නියෝග කර ඇත.

එම ආර්ථික සහ වෙළෙඳ සම්බාධක හේතුවෙන් ඉරාන ආර්ථිකය අඩපණ වී ඇති බවත්, ඉරාන වැසියන් දැඩි පීඩනයකට ලක්වී ඇති බවත් අධිකරණය පෙන්වා දී ඇත.

අධිකරණය වැඩි දුරටත් පවසා ඇත්තේ ඇමෙරිකාව පැනැවූ එම නව ආර්ථික සහ වෙළඳ සම්බාධක නීතිවිරෝධී සහ සදාචාරාත්මක නොවන බවය. ජාත්‍යන්තර අධිකරණය මෙසේ ඇමෙරිකාවට සම්බාධක ලිහිල් කරන්නැයි අණ කළේ, ඉරාන අධිකරණය ඉදිරිපත් කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමිනි.

ඉරානය මීට පෙර ද ඇමෙරිකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ පිහිට පතා ඇත. ඒ, 1988 වසරේ සහ 1992 වසරේදීය. 1988 වසරේ දී ඉරානය ජාත්‍යන්තර අධිකරණය හමුවට ගියේ ඉරාන ගුවන් සේවයට අයත් ගුවන් යානා අංක 655 ට එල්ල වුණු ප‍්‍රහාරය හේතුවෙනි. එම ප‍්‍රහාරයෙන් ගුවන් යානයේ සිටි 290 දෙනා ම ජීවිතක්ෂයට පත් වූහ.

1992 වසරේ දී ඉරානය ඇමෙරිකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ සහාය පැතුවේ, 1987 සහ 88 යන වසරවලදී ඉරාන තෙල් නිධිවලට එල්ල වුණු ප‍්‍රහාරය මුල්කොට ගනිමිනි.

ඉරානයට නව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවීමක් කළේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් පරිපාලනයයි. 2015 වසරේ දී ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා යටතේ ඇමෙරිකාව ඇතුළු ලොව ප‍්‍රබල රටවල් එක් වී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ඒ අනුව, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු නවතා දැමීය.

ජනාධිපති ට‍්‍රම්ප් එම ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේය. ඒ, එම ගිවිසුම නීතිවිරෝධී බව පවසමිනි. ඇමෙරිකාව ඉවත් වුවත් සෙසු රටවල් වන මහා බි‍්‍රතාන්‍යය, රුසියාව, චීනය, ජර්මනිය සහ ප‍්‍රංශය දිගටම ගිවිසුමට ගරු කරමින් ඊට එක් වී සිටින බව පවසා ඇත.

ඇමෙරිකා ජනපති ට‍්‍රම්ප් ඉරානයට නව සම්බාධක දැමීම කළේ ඒ අනුවය. සම්බාධකවල අරමුණ වී ඇත්තේ ඉරාන ආර්ථිකය අඩපණ කිරීමය.

(රොයිටර්)


RECOMMEND POSTS