ඇමෙරිකාවට එරෙහිව දැඩි තීරණයක්



ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පලස්තීන විමුක්ති සංවිධාන කාර්යාලය වසා දැමීමට ඇමෙරිකා රජය ගත් තීරණයට විරෝධය දක්වමින්, ඇමෙරිකාවට එරෙහිව දැඩි කි‍්‍රයා මාර්ග ගන්නවා යැයි ඒම සංවිධානය කියයි.

මෙසේ කියා සිටියේ පලස්තීන විමුක්ති සංවිධානය වෙනුවෙන් එහි විධායක කමිටු නියෝජිත හන්සාන් අෂ්රාවීය.

ඇමෙරිකාවට විරෝධය දැක්වීමේ පළමු පියවර ලෙස, ඇමෙරිකාව සමඟ පවත්වන ආරක්ෂක සහයෝගීතා සියල්ල නවත්වන බව ද අෂ්රාවී බටහිර බවුරේ රාමල්ලා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය.

‘ඇමෙරිකාව විශ්වාස කරන්නේ පලස්තීන අප අසරණ බවයි. අපට කිසිවක් කරන්න බැහැ යැයි ඔවුන් සිතනවා. ඒත් ඇමෙරිකාවට බලපෑමක් කළ හැකි සෑම දෙයක්ම අප කරනවා. ඇමෙරිකාවේ කි‍්‍රයාකලාපයට අප දැඩි ලෙස විරෝධය දක්වනවා’ යැයි එම මාධ්‍ය හමුවේදී හන්සාන් අෂ්රාවී වැඩි දුරටත් පැහැදිලි කළේය.

මැදපෙරදිග අර්බුදය හෙවත් ඊශ‍්‍රායල පලස්තීන අර්බුදයට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නව සාම සැලැස්මක් හඳුන්වා දීමට සැරැසෙයි.

ජනාධිපති ට‍්‍රම්ප්, ඊශ‍්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීමටත්, ඇමෙරිකා තානාපති කාර්යාලය ඊශ‍්‍රායලයේ ටෙල් අවීව් නුවර සිට ජෙරුසලමට මාරු කිරීමත් මුල්කොට ගනිමින් පලස්තීන පාලන අධිකාරිය සහ ට‍්‍රම්ප් පරිපාලනය අතර අර්බුදයක් නිර්මාණය වී අැත. ජෙරුසලම තම අගනුවර යැයි ඊශ‍්‍රායලය පමණක් නොව පලස්තීනය ද පවසයි.

හටගත් මෙම අර්බුදය හේතුවෙන්, පලස්තීන පාලන අධිකාරිය තීරණයක් ගෙන ඇත්තේ ඊශ‍්‍රායල පලස්තීන සාම වැඩපිළිවෙළ වෙනුවෙන් ඇමෙරිකාව සකස් කරන කිසිදු යෝජනාවලියක් තමන් පිළිගන්නේ නැති බවය.

පලස්තීනය ගත් මෙම තීරණය ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප්ගේ උදහසට හේතුවක් විය. ඔහු පලස්තීන වැසියන් වෙනුවෙන් ලබා දෙන ආධාර පවා කප්පාදු කළේය. පලස්තීන විමුක්ති සංවිධාන කාර්යාලය වසා දැමීම කළේ ඉන්පසුවය.

ට‍්‍රම්ප් පරිපාලනය ගත් මෙම තීරණය ඊශ‍්‍රායලයේ දැඩි පැසැසුමට හේතුවක් වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS