ඇමෙරිකාවට එරෙහි නොවුණොත් විනාසයි



අරාබි රටවල් මැදිහත්වීමක් නොකළහොත් ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරියේදී බටහිර ඉවුර ද ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගනු ඇතැයි හිස්බුල්ලා සංවිධානය අනතුරු අඟවයි.  

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම් සයීද් හසන් නස්රල්ලා දේශනයක් කරමින් එලෙස අනතුරු ඇඟවීය. 

“ඇමෙරිකානු ජනාධිපතිවරයා ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කරද්දි අරාබි ලෝකය නිහඬව සිටියා. ඒ නිසා ඇමෙරිකාවට ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරන්න අවස්ථාවක් ලැබුණා” යැයි ඔහු කීවේය. 

“ජාත්‍යන්තර සංවිධාන, ආයතන සහ ජාත්‍යන්තර නීතිය ඇමෙරිකාවේ න්‍යාය පත්‍රවලට අනුව කටයුතු නොකරන විට ඔවුන් ඒවා නොසලකමින් ඒවාට ගරු නොකරමින් කටයුතු කරනවා. ජාත්‍යන්තර ප්‍රජාවට ඉඩම්වල හිමිකාරීත්වය ස්වෛරීත්වය ආරක්ෂා කරගැනීමට නොහැකි වෙලා. ජාත්‍යන්තර ප්‍රජාව ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට නොහැකි වෙලා. ජෙරුසලෙමට වුණේ ඒක. ඊට පස්සේ ගෝලාන් කඳුකරයට එය සිදුවුණා” යැයි නස්රල්ලා කීය. 

1967 වසරේ පැවැති යුද්ධයේදී ඊශ්‍රායලය පලස්තීනයට අයත් බටහිර ඉවුර අල්ලා ගත් අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා 2017 වසරේදී ශුද්ධ නගරයක් ලෙස සැලකෙන ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගත්තේය. ඇමෙරිකානු ජනාධිපතිවරයා නැවත වරක් තවත් මතභේදාත්මක සහ ඊශ්‍රායලය හිතකර තීරණයක් ගනිමින් සිරියාවට අයත් ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගත්තේය. ඊශ්‍රායලය 1967 වසරේ පැවැති යුද්ධයේදී ගෝලාන් කඳුකරය ද අල්ලා ගත්තේය. මේ වනවිට එහි කොටසක් ඊශ්‍රායල පාලනයට නතුව තිබෙන අතර කොටසක් සිරියාවේ පාලනයට නතුව තිබේ. 

“ඉදිරි දිනකදී ට්‍රම්ප් බටහිර ඉවුර ඊශ්‍රායලයේ කොටසක් පිළිගනීවි” යැයි නස්රල්ලා කීය. 

එවැන්නක් සිදුවුවහොත් එය ‘සියවසේ ගනුදෙනුව’ වනු ඇතැයි ද හෙතෙම කීය. ඇමෙරිකාවේ මෙම ක්‍රියා කලාපය ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් තිබෙන විසඳුම් පෙන්වා දෙන බවත් පලස්තීන ජාතිකයන්ගේ ඓතිහාසික විසඳුම්වලට ප්‍රචණ්ඩකාරී ලෙස ප්‍රතිචාර දැක්වීම පෙන්නුම් කරන බවත් ඔහු කීවේය. 

“පලස්තීන ජනතාවට ගාසා තීරයට ගිහින් ජීවත් වෙන්න පුළුවන් කියලා ඔවුන් කියාවී” යැයි ද නස්රල්ලා පැවැසුවේය. 

“අරාබි ලෝකයට හෘදයසාක්ෂියක් තිබෙනවා නම් එකමුතුවෙලා මේ ප්‍රශ්නවලට මුහුණ දිය යුතු” යැයි ද හෙතෙම කීවේය. 

ටියුනීසියාවේදී පැවැත්වීමට නියමිත හමුවේදී අරාබි ලීගය, සෞදි අරාබිය 2002 වසරේදී යෝජනා කරන ලද සෞදි සාම වැඩපිළිවෙළින් ඉවත් විය යුතු ද නස්රල්ලා කීවේය. එයින් ඉවත් වී වත්මන් අර්බුද විසඳා ගැනීම සඳහා සාකච්ඡාමය පියවර ගත යුතු යැයි ද ඔහු කීය. 

සෞදි අරාබිය යෝජනා කළ වැඩපිළිවෙළින් ඊශ්‍රායලය සහ අරාබි රටවල් 22ක් අතර සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත් කරගැනීමට යෝජනා කර තිබෙන අතර ඊශ්‍රායලය බටහිර ඉවුරෙන් ඉවත් විය යුතු යැයි ද යෝජනා කර තිබේ. 

ප්‍රෙස් ටී.වී. ඇසුරිනි 


RECOMMEND POSTS