ඇමෙරිකාවට-ඊශ්‍රායලයට දොස්



ඉරානය පුරා පැවැත්වෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා ජනතාව උසි ගන්වන්නේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය යැයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී චෝදනා නගයි.

ඉරානයේ පරම සතුරන් වන ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී, කුමන්ත්‍රණය කරමින්, ඉරානය අස්ථාවර කිරීමට උත්සාහ ගන්නවා යැයි ද උත්තරීතර නායකයා වැඩි දුරටත් පැවැසීය.

ඉරානය පුරා, ඉරාන රජයට එරෙහි විරෝධතා පැවැත්වෙන්නේ හිජාබය පැලැඳිය යුතු ආකාරය සම්බන්ධයෙන් ඉරාන රජයේ දලදඬු නීතිවලට විරෝධය පාමිනි. විරෝධතාකරුවන් පහර දී විසුරුවා හරින්නැයි උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.

ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතරේ හටගත් දරුණු ගැටුම්වලින්, මියගිය ගණන 113 තෙක් ඉහළ ගොස් ඇතැයි නෝර්වේ පිහිටි ඉරාන මානව හිමිකම් සුරැකීමේ සංවිධානය පෙන්වා දී තිබේ. ඉරාන රජයේ වාර්තා අනුව මියගිය ගණන 40 කි. ඊට අමතරව, තවත් 800 කට ආසන්න පිරිසක් පොලිසි අත්අඩංගුවේ පසුවන බව ද පැවැසෙයි.

ඉරානයේ විරෝධතා රැල්ලක් ආරම්භ වූයේ පසුගිය සැප්තැම්බර් 13 වැනිදා සිටය.විරෝධතාවලට හේතු වූයේ හිජාබය නිසි ලෙස පැලැඳ නොසිටි බවට චෝදනා කරමින් පොලිස් අත්අඩංගුවට ගත් ඉරානයේ කුර්දි ජාතික තරුණියක මියයෑමේ සිද්ධියයි.

තරුණියගේ මරණය සම්බන්ධයෙන් කඩිනමින් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීමට ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසී විරෝධතාකරුවන්ට පැවැසූ නමුත්, විරෝධතාකරුවන් ඊට කන් දුන්නේ නැත. ඒ අනුව තෙහෙරාන් අගනුවර තෙක් විරෝධතා ව්‍යාප්ත විය.

පොලිස් අත්අඩංගුවේ සිටියධී මියගියේ මාෂා අමීනී නමැති ඉරානකුර්දිස්ථාන තරුණියයි. ඇය ඉරානයට බටහිර දෙසින් පිහිටි සෙකෙසේ නමැති කුර්දිස්ථාන ප්‍රාන්තයේ පදිංචිකාරියක බව පැවැසෙයි.

පසුගිය සැප්තැම්බර් 13 වැනිදා මාෂා, ඇගේ සොහොයුරා ද සමඟ ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණ ඇත. තෙහෙරාන් අගනුවර බලා දිවෙන හක්කානී අධිවේගී මාර්ගයේ පිවිසුම අසලදී, ‘සදාචාරය සුරැකීම’ වෙනුවෙන් පිහිටුවා ඇති ඉරාන පොලිස් නිලධාරීන් මාෂා අමීනී අත්අඩංගුවට ගත්තේ ඇය නිසි පරිදි හිජාබය පැලඳ නොසිටි බවට චෝදනා නගමිනි.

මාෂා අමීනීගේ සෙහොයුරා මාධ්‍ය හමුවේ කියා සිටියේ, පොලිසිය බලහත්කාරයෙන් තම සොහොයුරිය අත්අඩංගුවට ගෙන රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගිය බවය. පොලිසිය පසුව ඇය නිදහස් කළ නමුත් ඇය කඩිනමින් රෝහල් ගත කෙරුණි.

මාෂා අමීනී මියගියේ සිහිසුන්ව කෝමා තත්ත්වයෙන් දින තුනක් රෝහල්ගතව සිටීමෙන් පසුවය. පොලිස් නිලධාරීන් ඇයට පහර දුන් බවටත්, එම පහර කෑමෙන් ඇය මියගිය බවටත් චෝදනා නැගෙන්න විය. වෛද්‍ය වාර්තාවල දැක්වෙන්නේ මාෂා අමීනී හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝගී වී මියගිය බවය. මාෂා අමීනීගේ පියා දියණිය වෙනුවෙන් හඬා වැළපෙමින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තම දියණියට හෘද රෝගී තත්ත්වයක් නොතිබුණු බවය.

(රොයිටර්)


RECOMMEND POSTS