ඇමෙරිකාව එක්ක හැප්පෙන්න එපා



ඇමෙරිකාව සමඟ යුද්ධයකට පැටලුණොත්, ඉරානය මුළුමනින්ම විනාශ වනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවීමක් කළේය.

ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය කළේ, පවතින අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව ද පවසමිනි. ‘ඉරානයට ඕනෑ නම් යුද්ධයකට යන්න, ඒක ඉරානයේ අවසානය වේවි’ යැයි ට්‍රම්ප් කායි සිටියේ, සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ ඉරානයට තර්ජනය කළේ, ඉරාකයේ හරිත කලාපය (ග්‍රීන් සෝන් ඉලක්ක කර ගනිමින්, රොකට් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟය. කෙසේ නමුත් රොකට් ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදුවී නැතැයි ද පැවැසෙයි.

හරිත කලාපය යනුවෙන් හැඳින්වෙන්නේ ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර පිහිටි අධි ආරක්ෂක කලාපයකි. ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇතුළු තානාපති කාර්යාල පිහිටා ඇත්තේ මෙම හරිත කලායේය.

ඉරාකය මේ වනවිට අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පරාජය කර ඇති අතර, ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගනු ලැබ සිටි නගර සහ පළාත් යළි ඉරාක හමුදාව අතට පත් වී තිබේ. ඉරාකය සහ ඉරානය අසල්වැසියන්ය.

දෙරට අතර දීර්ඝ කාලයක් පුරාවට නොහොඳ නෝක්කඩු පැවැතිණි. කෙසේ නමුත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහි සටනේදී, ඉරානය ඉරාකය සමඟ අත්වැල් බැඳ ගනිමින් සටන් කළේය. ඒ අනුව, ඉරාකය සහ ඉරානය අතර සබඳතා ශක්තිමත් වූ අතර, මෙය ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් විය.

ඉරාන හිතවාදී සන්නද්ධ කල්ලි ඉරාකයේ ඇමෙරිකානුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරාවි යැයි ඇමෙරිකා බුද්ධි අංශ අනතුරු අඟවා ඇත. ඒ අනුව, ඉකුත් දා ඉරාකයේ රැඳී සිටින අත්‍යාවශ්‍ය රාජකාරිවල නොයෙදන සියලු ඇමෙරිකානුවන් ආපසු ගෙන්වා ගැනීමට පවා ඇමෙරිකාය කටයුතු කළේය.

ඇමෙරිකාව සහ ඉරානය අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ ඇමෙරිකාව ඇතුළු ලෝක බලවතුන් ඇතිකරගත් එකඟතාවට ජනපති ට්‍රම්ප් විරෝධය පළ කර ඇත. ඇමෙරිකාව එම ගිවිසුමෙන් ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් කටයුතු කර ඇත්තේ ද ඒ අනුවය.

ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු, ඇමෙරිකන් ජනාධිපතිවරයා ඉරානයට යළි ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත. එම සම්බාධක හේතුවෙන් ඉරානයට ඔවුන්ගේ තෙල් අපනයන කටයුතු සිදු කර ගැනීමට පවා නොහැකි වී තිබේ.

මේ අතර, ඇමෙරිකාව සමඟ පවතින අර්බුදය කිසිම අවස්ථාවක යුද්ධයක් තෙක් දුරදිග නොයන බව ඉරාන විදේශ ඇමැති මොහොමද් ජාවද් සරීෆ් අවධාරණය කර ඇත. ඉරාන විදේශ ඇමැතිවරයා මේ වනවිට චීනයේ සංචාරයක නියැලෙමින් සිටී. ඔහු මෙසේ අදහස් දක්වා සිටියේ, චීන මාධ්‍ය හමුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ‘ඉරානයට යුද්ධයක් ඕනෑ නැහැ. ඉරානය සමඟ හැප්පෙන්න වෙනත් රටක් සූදානම් වෙනවා නම් ඒක සිහිනයක් පමණයි.’ යැයි ඉරාන විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

‘ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට යුද්ධයක් ඕනෑ නැහැ. ඒත් ඔහු අවුස්සන්නේ ඔහුගේ ළඟ සිටින අය. ඇමෙරිකාව ඉරානයට වඩා ශක්තිමත්ව සිටිය යුතු යැයි වැරදි අවබෝධයක් ඔවුන් ට්‍රම්ප්ට දී තිබෙනවා.’ යැයි ඉරාන විදේශ ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනි පවා පවසා ඇත්තේ, කිසිම අවස්ථාවක තමන් ඇමෙරිකාව සමඟ යුද්ධයකට පැටළෙන්නේ නැති බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS