ඇමෙරිකාව ඉවත් වුණොත් එකඟතාව අවසන්



න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමින්, ඇති කරගත් එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් වන්නේ නම්, ඒ සමඟ න්‍යෂ්ටික එකඟතාව ද අවසන් වනු ඇතැයි ඉරානය කියයි.

ඉරානය වෙනුවෙන්, මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ ඉරාන තානාපති හමීද් බයිදෙනිජාද්ය. ඔහු මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් නාළිකාව සමඟ විශේෂ සමුම්ඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘ලෝක බලවතුන් සහ ඇමෙරිකාව එකඟවුණු එම ගිවිසුමෙන් දැන් ඇමෙරිකාව ඉවත් වෙන්න හදනවා. ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දෙන්නේ එම එකඟතාවයේ දෝෂ තිබෙන බවයි. ඔහු ඒවා සංශෝධනය කිරීමට සැරැසෙනවා. ඇමෙරිකාව එකඟතාවෙන් ඉවත් වුණොත් එකඟතාව අවසන් වේවි’ යැයි තානාපති බයිදෙනිජාද් පැහැදිලි කරයි.

න්‍යෂ්ටික ගිවිසුම ඇති කර ගැනීමට මුල්වුණු ප්‍රධාන පාර්ශ්වයක් එයින් ඉවත් වන්නේ නම්, එකඟතාව එයින් අවසන් වන බව ද බ්‍රිතාන්‍යයේ ඉරාන තානාපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර දෙයි.

මේ අතර චීනය ද පවසා ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමට තීරණය කිරීම අණුවන ක්‍රියාවක් බවය. න්‍යෂ්ටික එකඟතාවෙන් ඉවත් නොවන්නැයි චීනය ද ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇත. බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය අනුව, තමන් ද න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් නොවන බව චීනය ද අවධාරණය කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS