ඇමෙරිකන් හමුදා නෙරපීමට යෝජනාවක්



ඉරාකයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදා ඇතුළු විදෙස් හමුදා, එරටින් පිට කිරීමේ නව යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවේදී සම්මත විය. යෝජනාව ඒකමතිකව සම්මත විය.

මෙම නව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ඉරාක භාරකාර අගමැති අබ්දුල් අබ්දෙල් මහ්දීගේ ප්‍රධානත්වයෙනි. ඒ, ඉකුත් සිකුරාදා (3) ඇමෙරිකන් මිසයිල ප්‍රහාරයෙන්, ඉරාකයට පැමිණ සිටි ඉරාන හමුදා ප්‍රධානී මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ඝාතනය වීමේ සිදුවීම සම්බන්ධයෙනි. ඉරාකයේ දී සිදුවුණු එම ඝාතනය ඉරාකයේ ස්වෛරීත්වය උල්ලංඝනය වීමක් යැයි ඉරාක භාරකාර අගමැති මහ්දි පෙන්වා දී ඇත.

පසුගිය කාලය පුරාවට ඉරාක රජයට එරෙහිව විරෝධතා පැවැත්විණි. ඒ, විරැකියාව, ධරිද්‍රතාව සහ යටිතල පහසුකම් නොමැතිකම ආදී අර්බුද රැසක් මුල්කොට ගනිමිනි. එම විරෝධතා ඉහවහා යද්දී විරෝධතාකරුවන්ගේ බලබෑම මැද අගමැතකි ධුරයේ සිටි අබ්දෙල් මහ්දී ධුරයෙන් ඉවත් විය. කෙසේ නමුත් මැතිවරණයක් පවත්වා නව රජයක් පිහිටුවන තුරු අගමැති මහ්දී භාරකාර අගමැති ලෙස කටයුතු කරයි.

නව යෝජනාව ඉදිරිපත් කෙරුණේ පාර්ලිමේන්තුවේ විශේෂ සැසියකටය. ‘ඇමෙරිකන් හමුදා එපා. ඉරාකයට දීර්ඝායු’ යැයි පවසමින්, මන්ත්‍රීවරු කෑ කෝ ගසන්න වූහ. ඉරාකයේ භාරකාර අගමැති ලෙස කටයුතු කරන අබ්දුල් අබ්දෙල් මහ්දී ද තරයේ පවසා ඇත්තේ ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා ඉරාකයෙන් පිටවී යා යුතු බවය. ඒ අනුව, ඉරානයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදා පමණක් නොව, නේටෝ සංවිධානයට අයත් සෙසු හමුදා ද ඉරාකයෙන් පිටවී යා යුතුය. ඇමෙරිකන් හමුදා ඉරාකයේ රැඳී සිටින්නේ සදාම් හුසේන් පාලනය පෙරළා දැමීමෙන් පසුවය.

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ දී ඇමෙරිකන් සොල්දාදුවන්ගේ සහාය ඉරාක රජයට හිමිවිය. අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමෙන් පසු, ත්‍රස්තවාදීන් යළි හිස එසවීම වළැක්වීම සඳහා ඉරාක හමුදාවට නේටෝ හමුදාවෙන් විශේෂ පුහුණුවක් හිමිවෙයි. පාර්ලිමේන්තුව සම්මත කරගත් නව යෝජනාවට අනුව ඇමෙරිකන් හමුදා පමණක් නොව, අවි පුහුණුව ලබා දෙන නේටෝ හමුදා ද ඉරාකයෙන් පිටවී යා යුතුය.

බැග්ඩෑඞ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS