ඇමෙරිකන් සොල්දාදුවෝ 1,500 ක් මැදපෙරදිගට



ඉරානය සමඟ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකන් සොල්දාදුවන් 1,500 ක් මැදපෙරදිග කලාපයට යැවීමට ඇමෙරිකාව සූදානම් වෙයි.

මැදපෙරදිග කලාපයට සොල්දාදුවන් යැවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් කොංග්‍රස් මණ්ඩලය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) දැනුවත් කර ඇති බව ධවල මන්දිරය පවසා ඇත.

සොල්දාදුවන්ට අමතරව, යුද නෞකා, අවි ආයුධ, ප්‍රහාරක යානා ඇතුළු අවි ආයුධ තොගයක් ද මැදපෙරදිග කලාපයට යැවීමට ජනපති ට්‍රම්ප් යෝජනා කර ඇත. ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ ඔහු මැදපෙරදිගට යවන්නේ කුඩා බලඇණියක් බවත්, ඔවුන් යන්නේ යුද්ධ කරන්න නොවන බවත්ය.
ඇමෙරිකාවත් ඉරානයත් අතර පවතින අර්බුදය යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවට බියක් නිර්මාණය වී ඇත. ඇමෙරිකාව මේ වනවිට ඉරානයට සම්බාධක පනවමින් කෙණෙහිලිකම් සිදු කරයි. ඒ, මැදපෙරදි කලාපයේ ත්‍රස්තවාදය ‘වපුරනවා’ යැයි චෝදනා නගමිනි.

මීට ප්‍රතිචාර දක්වමින්, එම චෝදනා ප්‍රතික්ෂේප කරන ඉරාන උත්තරීතර නායක අල් කොමේනී පමණක් නොව, ඉරාන ජනාධිපති හසන් රොව්හානි ද අවස්ථා ගණනාවකදී පවසා ඇත්තේ, ඉරානය කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ යුද්ධයට පැටලෙන්නේ නැති බවය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ට ද කිසිම අවස්ථාවක ඉරානය සමඟ යුද වැදීමට අවශ්‍ය නොවන බවත් සාකච්ඡා කිරීමට තමන් සූදානමින් සිටින බවත්ය. ඇමෙරිකාව ඉරානයට කිසිදු ගෞරවයක් නොදක්වන හෙයින් කුමන තත්ත්වයක් යටතේ වුවත් ඇමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වන්නේ නැතැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS