ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂාව



ආක්‍රමණශීලි බලවතුන් විසින් කලාපය අර්බුදයකට ලක් කර ඇති හෙයින් තම ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් අවි ආයුද මිලදී ගන්නා බව ඉරාන ජනාධිපති හසින් රොව්හානි පවසයි.

මිසයිල, තවත් යුද උපකරණ සහ හමුදා සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් ආචාර පෙළපාලියේ යෙදුණු ජාතික හමුදා දින උළලේදී ඉරානය ජනාධිපතිවරයා ඒ බව කීය.

ප්‍රහාරක ජෙට් යානා, බෝම්බ හෙළන ගුවන් යානා ද ආචාර පෙළපාලියට සමගාමීව පියාසර කළේය.

මෙම අවස්ථාවට තෙහ්රාන් නුවරට විශාල පිරිසක් රැස්ව සිටි බව ද එරට මාධ්‍ය වාර්තා කළේය. ඉරානයෙන් අසල්වැසි රටකට කිසිදු තර්ජනයක් නැතැයි ද ජනාධිපති හසන් රොව්හානි මෙම අවස්ථාවේදී කීවේය.

“අපට අවශ්‍ය නම් අපි ආයුද මිලදී ගන්නවා. අවශ්‍ය නම් ආයුද නිෂ්පාදනය කරනවා. අපිට ඒ සඳහා ලෝකයාගේ අවසරය අවශ්‍ය නැහැ. අපි අපේ අසල්වැසියන්ට කියන්න කැමැතියි. මේ ආයුද ඔවුන්ට එරෙහිව පාවිච්චි කරන්න නෙමෙයි. මේවා අපේම ආරක්ෂාවට පමණයි” යැයි රොව්හානි කීය.

“අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය කලාපයක නෙමෙයි. ආක්‍රමණශීලි බලවතුන් අපේ වටා කඳවුරු තනලා. ජාත්‍යන්තර නීති නොතකමින් ඔවුන් කලාපයේ කටයුතුවලට මැදිහත් වෙලා. එක්සත් ජාතීන්ගේ අවසරය නොමැතිව ඔවුන් අපේ අසල්වැසි රටවල් ආක්‍රමණය කරලා” යැයි ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

(රොයිටර්)


RECOMMEND POSTS