අවමඟුලට මහ සෙනගක්



ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් මියගිය 21 හැවිරිදි හෙදිය රසාන් අල් නජාර්ගේ අවසන් කටයුතු පැවැත්වුණු අතර පලස්තීනුවෝ දස දහස් ගණනක් ඊට සහභාගී වූහ.

පසුගිය සිකුරාදා (1) දිනයේ ගාසා තීරණයේ පලස්තීන විරෝධතාකරුවන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් අතරේ දරුණු ගැටුම් පැවැතිණි. ස්වේච්ඡා හෙදියක ලෙස රසාන් අල් නජාර් ද එම ගැටුම්වලදී තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට ගොස් සිටියාය. ඇය ඊශ්‍රායල හමුදා සොල්දාදුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වූයේ එම අවස්ථාවේදීය.

හෙදිය ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ගාසා තීරයේ පලස්තීනුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කුවේට් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ද ගෙනා අතර, ඇමෙරිකාව සිය නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරෝධය පළ කළේය.

කුවේට් රාජ්‍යය පලස්තීනුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම යෝජනාවට රුසියාව, චීනය, ප්‍රංශය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජික රටවල් අනුමැතිය ලබා දුන්නේය. එක්සත් රාජධානිය ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

ඇමෙරිකාව මෙසේ සිය නිෂේධ බලය පාවිච්චි කරමින්, යෝජනාවට විරෝධය පළ කිරීම හරහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශ්වාසනීයත්වය පිරිහී ඇති බව පෙනී යන්නේ යැයි එක්සත් ජාතීන්ගේ පලස්තීන තානාපති රියාද් මන්සූර් පවසා ඇත. ඇමෙරිකාව මෙම යෝජනාවට විරෝධය පළ කළේ ඊශ්‍රායලයට පක්ෂව යැයි ද පැවැසෙයි.

පලස්තීන වැසියන් සහ ඊශ්‍රායල හමුදා අතර දරුණු ගැටුම් ඇවිලෙමින් පවතින්නේ ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීමට පියවර ගැනීමත් සමඟය.

ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලමේ විවෘත කිරීමට ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේය. ඉන්පසු මේ වනතුරු හටගත් ගැටුම්වලින් මියගිය පලස්තීනුවන් ගණන 123 කි. කුවේටය, පලස්තීනුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් එම යෝජනාවලිය සකස් කර එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළේ සෙසු අරාබි රටවල ද සහාය ඇතිව යැයි වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS