අල් කයිඩා නායකයන්ට මිසයිල ප්‍රහාර



සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ අල් කයිඩා නායකයන් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකා හමුදාව කියයි.

සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ අවසන් බළකොටුව ලෙස සැලකෙන්නේ ඉඞ්ලිබ් පළාතය.

ඇමෙරිකන් පුරවැසියන්, සිරියානු සිවිල් වැසියන් සහ ඇමෙරිකාවට හිතවත් කුර්දි සටන්කාමීන්ට මෙම අල් කයිඩා ත්‍රස්ත නායකයන් තර්ජනයක් බැවින්, ඔවුන් සැඟවී සිටින ස්ථාන ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළේ යැයි ඇමෙරිකා හමුදාව පවසයි.

ත්‍රස්තවාදීන්ගේ එක් කඳවුරකට එල්ල කළ මිසයිල ප්‍රහාරයින් ත්‍රස්තවාදීන් 40 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද ඇමෙරිකන් හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම හමුදා කඳවුර ත්‍රස්තවාදීන්ගේ පුහුණු කඳවුරක් බව තහවුරු කර ගැනීමට හැකිවුණැයි ද ඇමෙරිකන් හමුදාව පවසා තිබේ.

ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ පමණක් නොව, සිරියානු රජයට විරෝධය දක්වමින් අවි අතට ගත් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල අවසන් බළකොටුව ලෙස සැලකෙන්නේ ද ඉඞ්ලිබ් පළාතය.

මේ වනවිට මෙම පළාත වෙනුවෙන් විශේෂ සටන් විරාම වැඩසටහනක් ආරම්භ වී ඇත. ඒ, සිරියානු රජය, රුසියාව සහ තුර්කිය එක් වී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

සිරියානු අර්බුදයේදී, සිරියානු රජයට සහ රජයේ හමුදාවට සහාය දක්වන්නේ රුසියාවය. විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජනය කරන්නේ තුර්කියයි. තුර්කිය සිරියාවේ අසල්වැසියෙකි. සිරියාවේ ක්‍රියාත්මක වුණු අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට තුර්කිය සහ රුසියාව එක් වී මෙහෙයුම් සිදු කළේය.

ඩමැස්කස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS