අර්බුදය විසඳාගන්න සාකච්ඡා කරනවා



සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් සමඟ හටගත් අර්බුදකාරී තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් යැයි ඉන්දුනීසියාවේ සංචාරයක නියැළී සිටින කටාර් එමීර් තමීම් බින් හමාද් අල් තානී කියයි.

සෞදිය ඇතුළු සෙසු ගල්ෆ් කලාපීය රටවල් සමඟ හටගත් අර්බුදය විසඳා ගන්න සාකච්ඡා කිරීමට කැමැති නමුත්, එම රටවල් කටාරයේ ස්වෛරීත්වයට බාධාවක් වන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බව කටාර් එමීර්වරයා පැහැදිලි කරයි.

කටාර් එමීර් අල් තානී ජකර්තා බලා පැමිණියේ ඊයේ (18) දිනයේය. ඔහු ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ඉන්දුනීසියා ජනාධිපති විඩෝඩෝ කටයුතු කළේය.

ගල්ෆ් කලාපීය රටවල් සහ කටාර් රාජ්‍යය අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් දෙදෙනා අතරේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. ගල්ෆ් අර්බුදය සම්බන්ධයෙන් කටාර් එමීර්වරයා අදහස් දක්වා සිටියේ එම අවස්ථාවේදීය.

ඉන්දුනීසියානු සංචාරයේදී, කටාර් එමීර්වරයා සහ ඉන්දුනීසියා ජනපතිවරයා අතර ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. ‘අප ඉස්ලාමීය ලෝකයේ, ඉන්දුනීසියාව වැදගත් රටක්’ යැයි කටාර් එමීර්වරයා එම අවස්ථාවේදී කියා සිටියේය.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS