අයි.එස් ගුවන්තොට සිරියා සටන්කාමීන් අතට



සිරියාවේ රකාහි පිහිටි අයි.එස් සංවිධානයේ පාලනයට නතුව තිබූ ගුවන් කඳවුරක පාලනය සියතට ගත් බව ඇමෙරිකාවේ සහාය ලබන සිරියා කුර්දි සහ අරාබි සටන්කරුවෝ පවසති.

ජිහාද් සටන්කාමීන් වන අයි.එස් සටන්කාමීන් පරාජය කරමින් ඔවුන්ට අයත්ව තිබූ ගුවන් කඳවුරක් අත්පත් කරගැනීම සැලකිය යුතු ජයග්‍රහණයක් යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සටන්කාමීන්ගෙන් තබ්කා ගුවන් තොටුපොළ මුදාගත් බව සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ ප්‍රකාශක තලාල් සේලෝ පැවැසීය. කුර්දි සටන්කරුවන් ප්‍රමුඛ පිරිස් නගරයෙන් අයි.එස් සටන්කාමීන් පළවා හැරීමේ මෙහෙයුම්වල නිරතව සිටිති.

කෙසේ වෙතත් මෙම මෙහෙයුම්වලදී සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්නැයි ද මනාව හිමිකම් සුරැකීමේ සංවිධාන සියලු පාර්ශවවලින් ඉල්ලා ඇත. පසුගිය සතියේ ඒකාබද්ධ හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 89 දෙනකු මියගිය බව එක්සත් ජනපදය පදනම් කරගෙන ක්‍රියාත්මක වන මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණ සංවිධානය නිවේදනය කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සටන්කරුවන් ගුවනින් රැගෙන යමින් ස්ථාන ගත කිරීමෙන් අනතුරුව අයි.එස් සංවිධානයේ පාලනයේ තිබූ ගුවන් තොටුපොළ අත්පත් කරගැනීම සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය ලැබූ පළමු ප්‍රධාන ජයග්‍රහණය විය.
සිරියානු හමුදාවේ පාලනයේ තිබූ තබ්කා ගුවන් තොටුපොළ 2014 වසරේදී අයි.එස් සටන්කාමීන් විසින් අත්පත් කරගනු ලැබිණි. එහිදි සිරියානු හමුදාවේ සොල්දාදුවෝ රැසක් ජීවිතක්ෂයට පත්වූහ.

ගැටුම් ආරම්භ වීමට පෙර රකා යනු සිරියාවේ සයවැනි විශාලතම නගරය විය. රකා නගරය අයි.එස් පාලනයට නතු වීමෙන් සිවිල් වැසියන්ට නගරයෙන් පිටතට යෑමට අයි.එස් සංවිධානයේ අවසරය අවශ්‍ය වූ අතර ජංගම දුරකතන භාවිතය සහ ජාත්‍යන්තර රූපවාහිනි නාලිකා විකාශය තහනම් කරන ලදි.

හර්ෂණ තුෂාර සිල්වා
(රොයිටර් ඇසුරිනි)


RECOMMEND POSTS