අයි.එස්. ශක්තිය වර්ධනය වෙලා



සිරියාවෙන් සහ ඉරාකයෙන් පරාජය වූ ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සංවිධානය මේ වනවිට වෙනත් රටවලට ව්‍යාප්ත වී ඇතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසයි.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මේ බව කියා සිටියේ, අයි.එස්. ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබා දුන් නවතම තෙරතුරු අනාවරණය කරමිනි.

‘සිරියාවෙන් සහ ඉරාකයෙන් අඩපණ වුණු අයි.එස්. ත්‍රස්ත සංවිධානය අද වෙනත් තැන්වල ශක්තිමත් වී තිබෙනවා. ඔවුන් වසර තුන හකරකට කලින් පැවැති තත්ත්වයට වඩා ශක්තිමත්ව සිටින බව පැහැදිලියි.’ යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාවේ ‘දිස් මෝනින්’ වැඩසටහනට එක් වෙමිනි.

අබු බකර් අල් බැග්ඩෑඩිගේ නායකත්වයෙන් අයි.එස්. ත්‍රස්ත සංවිධානය බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් ලෙස ලොවට තර්ජනයක් වීම ආරම්භ වූයේ සිරියාවේ සහ ඉරාකයේ ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ පළාත් එක් කරමින් ඉස්ලාමික් ස්ටේට් රාජ්‍යය නිර්මාණය කරමිනි.

පසුගිය දා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ෂියා මුස්ලිම් මංගල උත්සවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එයින් 65 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 200 ට ආසන්න පිරිසක් රෝහගල් ගත කෙරුණි. එම ප්‍රහාරය සිදු කළේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්තවාදීන් බව අනාවරණය විය.

ඇෆ්ගනිස්තානයේ ඇතැම් තලේබාන් ත්‍රස්ත කල්ලි සමඟ අයි.එස්. ත්‍රස්තයන් සම්බන්ධ වී සිටින බවත් ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඇෆ්ගන් සාම වැඩපිළිවෙළට අයි.එස්. ත්‍රස්තවාදීන් බාධාවක් බවත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් පවසා ඇත.

වොෂින්ටනයේදීය (අල් ජසීරා/රොයිටර්ස්)


RECOMMEND POSTS