අයි.එස්. මාධ්‍ය ප්‍රකාශකයා ප්‍රහාරයකින් මරුට



 

 

බීරූට්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)

ලොව පුරා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් මිලේච්ඡත්වය වපුරන අයි.එස් ත්‍රස්ත සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයා මරුමුවට පත්ව ඇතැයි එම සංවිධානයේ ඊයේ (31) නිවේදනය කළේය. අබු මොහමෙද් අල් අද්නානි  වන ඔහු ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකා එක්සත් ජනපදය ද ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මියගොස් ඇත්තේ අයි.එස් ත්‍රස්ත සංවිධානයේ මහ මොළකරු (ක්‍රමෝපායකයා) යැයි බී.බී.සී ඇතුළු පුවත් සේවා කිහිපයක් වාර්තා කර තිබුණි. රාමදාන් මාසයේදී බටහිර රටවල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ යුතු බව ප්‍රකාශ කර ඇත්තේ අද්නානි යැයි ද එම වාර්තාවලින් කියැවිණි.  

අද්නානි මියගිය බව අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ‘අමාක්’ පුවත් සේවය ද වාර්තා කර තිබූ අතර ඔහු මියගොස් ඇත්තේ සිරියාවේ ඇලෙප්පෝ පළාතේදීය. 

ඇලෙප්පෝ හි අල් බාබ් නගරයේ අල් අද්නානි සිටින බව ට ලද තොරතුරකට අනුව ගුවන් ප්‍රහාර එල්ල කළ බවත් මේ වනවිට ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවැසීය. 

අයි.එස් ත්‍රස්ත සංවිධානය සිරියාවේත් ඉරාකයේත් පරාජ ලබමින් සිටියදී මෙම සිදුවීම වාර්තා වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. 

අල් අද්නානි අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයා හා මහ මළකොරු යන තනතුරු දෙකම හෙබ වූ බව ද ඔහු සංවිධානය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ බව ද ඔහු මියගිය ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය නොකරමින් ‘අමාක්’ පුවත් සේවය වාර්තා කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු විශ්ලේෂණය කරමින් සිටින බවත් අල් අද්නානි මියගොස් ඇති බව ස්ථීර වුවහොත් එය අයි.එස් ත්‍රස්ත සංවිධානයට එල්ල වූ මරු පහරක් යැයි ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක පීටර් කුක් පැවැසීය. 

අල් අද්නානිගේ ඝාතනයේ පළිය ගන්නා බව ද එය සංවිධානයේ නව පරම්පරාව මත පැවැරී තිබෙන බව ද ‘අමාක්’ පුවත් සේවයේ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. 

අල් අද්නානි අයි.එස් සංවිධානයේ බටහිර ප්‍රහාර සැලසුම් කරන්නා හා ප්‍රධාන ප්‍රකාශකයා යැයි ද මරාගෙන මැරෙන ප්‍රහාර සැලැසුම් කිරීම, සාමාජිකයන් බඳවා ගැනීම හා අයි.එස් ත්‍රස්තයන්ගේ ගමන් සම්බන්ධීකරණය ඇතුළු සංවිධානයේ කටයුතු රැසකට නායකත්වය දුන් බව ඔහු පිළිබඳ විස්තරයක් කරමින් පීටර් කුක් කීවේය. 

අල් අද්නානි අයි.එස් ත්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු යැයි ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පවසා තිබුණි. 

පැරිසිය, බ්‍රසල්ස්, ඉස්තාන්බුල්, අන්කාරා ඇතුළු පසුගිය කාලය පුරාවට ලොව නගරවල එල්ල වූ ප්‍රහාර, රුසියානු ගුවන් යානයකට එල්ල වූ ප්‍රහාරය ඇතුළු ප්‍රහාර රැසක් සැලසුම් කර ඇත්තේ අද්නානි යැයි ද පැවසේ. එම ප්‍රහාරවලින් 1800කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර 4000කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 

අල් අද්නානි මුලින්ම ඉරාකයේ ක්‍රියාත්මක අල් කයිඩා සංවිධානයට එක් වී ඇති අතර පසුව ඔහු අයි.එස් ත්‍රස්ත සංවිධානයට එක්වෙමින් සිරියාවේ මෙහෙයුම් කටයුතු සැලැසුම් කරන ප්‍රධානිය ලෙස ද කටයුතු කර ඇත. අල් අද්නානි අයි.එස් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිගෙන් පසු සංවිධානයේ දෙවැනි ජ්‍යෙෂ්ඨතම නායකයා යැයි ද වාර්තා විය. ඔහු යටතේ ‘එම්නි’ නමින් විශේෂ බලකායක් ඇති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි. 

අල් අද්නානි පිළිබඳ තොරතුරක් ලබා දෙන්නකුට ඇමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක් දෙන බවට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණි. 


RECOMMEND POSTS