අයි.එස්. ත්‍රස්තයෝ යළි හිස ඔසවන ලකුණු



ඉරාකයේ අඩපණ වූ අයි.එස්. හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ත්‍රස්ත සංවිධානය, යළි ශක්තිමත් වෙමින් පවතින බවට කුර්දිස්තාන සහ බටහිර බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.

ඉරාකයේ ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීම සිදුවූයේ මීට වසර දෙකකට පෙරය. අයි.එස්. සංවිධානයේ මූලාරම්භය සිදුවූයේ ඉරාකයේ මොසූල් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. අයි.එස්. සංවිධානය ඔවුන්ගේ ඉස්ලාමීය රාජ්‍යය පිහිටුවූයේ ද මොසූල් අල්ලා ගැනීමෙන් පසුවය.

අයි.එස්. සංවිධානය සිරියාවට ව්‍යාප්ත වූයේ ඉන්පසුවය. මේ වනවිට සිරියා අයි.එස්. ත්‍රස්තවාදීන් ද අඩපණ කිරීමට සිරියානු රජයේ හමුදාවට හැකි වී ඇත. ඒ, රුසියාවෙන්, ඉරානයෙන් සහ තුර්කියෙන් ලැබුණු සහාය හේතුවෙනි.

අයි.එස්. ත්‍රස්තවාදීන් කුර්දිස්තානයේ කුර්දිවරුන්ට ද තර්ජනයක් විය. කුර්දිස්තානය යනු වෙනම පාලනයක් සහිත ඉරාකයට අයත් කොටසකි. අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ඉරාක රජයට කුර්දිවරුන්ගේත්, ඇමෙරිකන් හමුදාවේත්, ඉරාන හමුදාවේත් සහාය ලැබුණි. ඉරාකයත් ඉරානයත් අතර යහපත් සබඳතා වර්ධනය වූයේ අයි.එස්. ත්‍රස්තවාදීන් දෙරටට පොදු සතුරකු වූ බැවිනි.

ඉරාක රජය එරට අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කළේ මීට වසර දෙකකට පෙරය. අයි.එස්. සංවිධානයේ නායකයා වූ අබු බකර් අල් බැග්ඩෑඩි ඇමෙරිකන් හමුදා මෙහෙයුමකදී ජීවිතක්ෂයට පත් විය. ඒ, පසුගිය ඔක්තෝබර් 27 වැනිදාය. අල් බැග්ඩෑඩි මරා දැමුවත්, අයි.එස්. සංවිධානයට පක්ෂපාතී අන්තවාදී ඉස්ලාමීය කල්ලි ආසියානු රටවල ක්‍රියාත්මක වෙයි.

බැග්ඩෑඞ් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS