අභ්‍යන්තර පරීක්ෂණයක්



මාධ්‍යවේදී ජමාල් කශෝජිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්නැයි සෞදි අරාබියේ සල්මාන් රජු නියෝග කළේය.

සෞදි ජාතිකයකු වන මාධ්‍යවේදී ජමාල් කශෝජි අතුරුදන් වූයේ ඔක්තෝබර් 2 වැනිදාය. ඔහු අවසන්ට වරට දැක ඇත්තේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාල තුළදී වන අතර ඔහු කොන්සියුලර් කාර්යාලයට ඇතුළු වන අයුරු දැක්වෙන වීඩියෝ පට තිබුණද ඔහු ඉන් පිටතට පැමිණි බවට කිසිදු තොරතුරක් නැත.

තුර්කි සහ සෞදි පරීක්ෂකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය පරීක්ෂා කිරීමට නියමතව ඇත.

මාධ්‍යවේදී ජමාල්ට සිදු වූයේ කුමක් ද යන්න සෙවීමට එක්ව වැඩ කිරීමට සෞදි සහ තුර්කිය එකඟ වූයේ දින කිහිපයක සාකච්ඡාවලින් පසුවය.

මාධ්‍යවේදී ජමාල් කශෝජි සෞදි රාජධානියේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළ මාධ්‍යවේදියෙකි.
“ඉස්තාන්බුල්හි සිටිනි සෞදි-තුර්කි ඒකාබද්ධ කණ්ඩායමෙන් ලැබෙන තොරතුරු මත කශෝජිගේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි රජු නියෝග කළා” යැයි සෞදි නිලධාරියෙක් පැවැසීය.

මාධ්‍යවේදී ජමාල් කශෝජි සම්බන්ධයෙන් සෞදියේ සල්මාන් රජු සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඔහු හමුවීමට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කඩිනමින් එරටට යවන බවත් මේ අතරවාරයේදී ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් කීය.

ජමාල් කශෝජිට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව සෞදි රජු තමන් සමඟ පැවැසූ බව ද ට්‍රම්ප් කීවේය. 

ජමාල් කශෝජි ඇමෙරිකා එක්සත් ජනපදයේ නේවාසිකයකු වන අතර වොෂින්ටන් පුවත්පතේ තීරු ලිපි රචකයෙකි. තම විවාහයේ ලිපි ලේඛන කිහිපයක් ලබාගැනීම සඳහා තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිට සෞදි කොන්සියුලර් කාර්යාලයට ඇතුළු වූ ජමාල් පිළිබඳව එතැන් පටන් කිසිදු තොරතුරක් වාර්තා නොවීය.

කොන්සියුලර් කාර්යාලය තුළදී ජමාල් ඝාතනය කර පසුව ඔහුගේ සිරුර ඉවත් කළ බවට ඇතැම් පිරිස් චෝදනා කරන අතර සෞදි අරාබිය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමු වී ඇත. කශෝජි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනය ලක්ව ඇත්නම් වැරැදිකරුවන්ට දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප් අවධාරණය කළේය. මේ සිදුවීමට සම්බන්ධ සියලු දෙනා සම්බන්ධයෙන් සොයා බලන්නැයි ද ඒ සම්බන්ධයෙන් විශ්වාසනීය පරීක්ෂණයක් කරන්නැයි ද යුරෝපා සංගමයේ රටවල් අවධාරණය කර ඇත.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS