අබ්බාස් පාප්තුමා හමුවෙයි



පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් වතිකානයේදී පැවැත්විණි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනිමින්, ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීමෙන් පසු පලස්තීන ජනාධිපති අබ්බාස් සහ පාප්තුමන් අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය විය.

ඊශ්‍රායලය පමණක් නොව පලස්තීනය ද ජෙරුසලම තම අගනුවර ලෙස පිළිගනී. අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය. පලස්තීන ජනාධිපති අබ්බාස් සහ පාප්තුමන් අතර හමුව පැවැත්වූයේ පාප්තුමන් රැඳී සිටින මාලිගයේ පුස්තකාලයේදීය.

ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීමත් ජෙරුසලම ඊශ්‍රායල අගනුවර බව පිළිගැනීමටත් ජනාධිපති ට්‍රම්ප් ගත් තීන්දුව ආන්දෝලනාත්මක එකක් විය. ඇමෙරිකා ජනාධිපතිවරයා ගත් එම තීරණය වතිකානයේ පවා විරෝධයට හේතුවක් විය.

එකිනෙකා හමුවුණු අවස්ථාවේදී, පාප්තුමන් සහ පලස්තීන ජනාධිපතිවරයා එකිනෙකා බදාගනිමින් සුහදතාව පළ කළහ. දෙදෙනා මිනිත්තු 20කට ආසන්න කාලයක් කතාබහ කළේ යැයි වතිකාන පුවත් සේවා පෙන්වා දෙයි.

“ක්‍රිස්තියානි, යුදෙව් සහ ඉස්ලාම් යන ආගම් ත්‍රිත්වයේම ශුද්ධ නගරය ජෙරුසලෙමයි. ජෙරුසලෙම විශ්වීය වටිනාකමක් තිබෙනව නගරයක්. එම වටිනාකම අනන්‍යතාව හඳුනාගත යුතුයි. ජෙරුසලම හඳුනාගැනීම සහ එය ආරක්ෂා කිරීම ඉතාම වැදගත්” යැයි පාප්තුමෝ පලස්තීන ජනාධිපතිවරයා හමුවුණු අවස්ථාවේදී පෙන්වා දුන්හ.

හර්ෂණ තුෂාර සිල්වා
(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS