අප්‍රේල් මාසයේ මහ මැතිවරණයක්



පාර්ලිමේන්තුව විසුරුවා හැර ලබන අප්‍රේල් මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වීමට ඊශ්‍රායලයේ සන්ධාන ආණ්ඩුවේ ප්‍රධානීහු තීරණය කළහ.

එම තීරණයට අනුව මහ මැතිවරණය පැවැත්වෙන්නේ නියමිත දිනට මාස හතකට කලිනි. 

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ප්‍රමුඛ දක්ෂිණාංශික සන්ධානයට පාර්ලිමේන්තුව තුළ හිමිව තිබෙන්නේ ඉතා සීමිත බහුතරයකි. එම නිසා සන්ධාන ආණ්ඩුව පාලනය ගෙන ගියේ මහත් අරගලයක් මධ්‍යයේය.

“සන්ධානයේ පක්ෂවල නායකයෝ මැතිවරණයක් කැඳවීමට ඒකමතිකව තීරණය කළා. ඒ සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගත්තා. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ලබන අප්‍රේල් මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළා” යැයි පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පැවැසීය.

ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ කතානායක යූලි යෝල් එඩෙල්ස්ටයින් ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නායකයන් කැඳවා මැතිවරණය පැවැත්වීමට සුදුසු දිනයක් නම් කරනු ඇතැයි වාර්තා වේ.

නෙදන්යාහුගේ ආණ්ඩුව මේ වනවිට අර්බුද රැසකට මුහුණ දී සිටී. ඊශ්‍රායල හමුදා පලස්තීන සටන්කාමීන් හා ගැටුම්වලට මැදිව සිටීම එක් අර්බුදයකි. එම ගැටුම් හේතුවෙන් නෙදන්යාහු ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය ඇවිදෝර් ලිබර්මන් ද ඉකුත් දිනෙක එම ධුරයෙන් ඉල්ලා අස්විය.
ඊශ්‍රායල පාර්ලිමේන්තුව ආසන 120කින් සමන්විත අතර ඇවිදෝර්ගේ ඉල්ලා අස්වීමත් සමඟ ආණ්ඩුවට හිමි ආසන සංඛ්‍යාව 61ක් දක්වා පහත වැටිණි.

නෙදන්යාහු හා ඔහුගේ සමීපතම පුද්ගලයන්ට එරෙහිව මේ වනවිට අපරාධ පරීක්ෂණ ආරම්භ වී තිබෙන අතර දූෂණ, අල්ලස්, වංචා සහ විශ්වාසය කඩ කිරීම යන චෝදනාවලට අගමැති නෙදන්යාහුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට සියලු සාක්ෂි ඇතැයි ඊශ්‍රායල පොලිසිය සඳහන් කරයි. ඔහුට එරෙහිව කරන ලද පරීක්ෂණ දෙකක් සම්බන්ධයෙන් වෙන වෙනම සාක්ෂි ඇතැයි ද පොලිසිය කියයි. කෙසේ නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

“ඉක්මනින් මැතිවරණයක් කැඳවීම තරමක සහනයක්” යැයි විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන ෂෙලි යකිමොවිච් පැවැසීය.

“දූෂණ චෝදනා එල්ල වී තිබෙන අග්‍රාමාත්‍යවරයකු යටතේ ආණ්ඩුවක් ගෙන යන්න බැහැ. පොලිසිය ඔහුට විරුද්ධව සාක්ෂි තිබෙන බව කියනවා. ඔහුට අධි චෝදනා ගොනු කළ හැකි බව පොලිසිය මෙන්ම රජයේ නීතිඥවරුන් ද කියා සිටිනවා. එවැනි අගමැතිවරයකුට ආණ්ඩුවක් ගෙනි යන්න බැහැ” යැයි ද යකිමොවිච් කීය.

“අපි රාජ්‍ය තාන්ත්‍රිකව ද පහළ වැටෙමින් ඉන්නවා. අගමැතිවරයා ඔහුගේ පෞද්ගලික වුවමනා එපාකම් වෙනුවෙන් ආණ්ඩුව ප්‍රාණ ඇපයට අරගෙන. මේ විදියට යන්න බැහැ” යැයි ද හෙතෙම කීවේය.

නෙදන්යාහු මේ ගෙවා දමමින් සිටින්නේ ඔහුගේ පස්වැනි අග්‍රාමාත්‍ය ධුර කාලයයි. ඊශ්‍රායල නීතියට අනුව මීළඟට මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන වසරේ නොවැම්බර් මාසයේදීය.

හර්ෂණ තුෂාර සිල්වා
සී.එන්.එන් ඇසුරිනි


RECOMMEND POSTS