අනාථයන් අනාරක්ෂිත ප්‍රදේශවලට



ඉරාක ආරක්ෂක හමුදාව යුද්ධයෙන් අවතැන්ව අනාථ කඳවුරුවල සිටින පුද්ගලයින්ව අනාරක්ෂිත ප්‍රදේශයක් වන අන්බාර් පළාතේ පදිංචි කිරීමට බලහත්කාරයෙන් රැගෙන යන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සරණාගත කඳවුරුවලින් රැගෙන යන පුද්ගලයින්ට ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වීමට සිදුව ඇති බව සහන සේවකයින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

අයි.එස් ත්‍රස්තවාදීන් සමඟ පවතින යුද්ධය හේතුවෙන් මිලියන දෙකකට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් අනාථ කඳවුරුවල සිටින අතර ඔවුන් රැකබලා ගැනීම ඉරාක රජයට ඉතා අසීරු කාර්යයක් වී ඇත.

මැයි මාසයේ පැවැත්වීමට නියමිත ඉරාක ඡන්දය හේතුවෙන් වැඩි දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් දේශපාලඥයින් අනාරක්ෂිත තත්ත්වය මධ්‍යයේ ජනතාව ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බව විචාරකයින් පෙන්වා දෙයි.    

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS