අදහස වෙනස් කරලා



පා පන්දු ලෝක කුසලානය ඊයේ ආරම්භ විය. ලෝක කුසලානයේ පළමු තරගයට පෙරාතුව ධජ රැගෙන යෑමට සෞදි තරුණියන් හය දෙනකු සූදානමින් සිටිය ද නොවැළැක්විය හේතුවක් නිසා ඔවුන්ට එම අවස්ථාව අහිමි වූ බව සංවිධායකයෝ පවසති.

සත්කාරක රුසියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරගයට ප්‍රථම කණ්ඩායම් ක්‍රීඩාංගනයට රඳවාගෙන ඒමේදී සෞදි අරාබියානු කණ්ඩායමට ඉදිරියෙන් එරට තරුණියන් හයදෙනකු සෞදි අරාබියානු ධජය රැගෙන යෑමට නියමිතව තිබිණි. එහෙත් තම තරුණියන්ට සහභාගී වීමට නොහැකි වීම හේතුවෙන් රුසියානු තරුණියන් හයදෙනෙක් සෞදි ධජ රැගෙන සෞදි කණ්ඩායම ක්‍රීඩාංගනයට රැගෙන ආහ.

පාපන්දු ලෝක කුසලානයට අනුග්‍රහය දක්වන ‘කොකාකෝලා’ සමාගමේ වැඩසටහනක් යටතේ අවුරුදු 13ත් 17ත් අතර වයස්වල පසුවන තරුණියන් හයදෙනකු එලෙස සෞදි කණ්ඩායමට ක්‍රීඩාගනයට රැගෙන ඒමට නියමිතව තිබිණි. මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගනයේදී මේ වනවිට පාපන්දු ලෝක කුසලානයේ පළමු තරගය රුසියානු හා සෞදි අරාබියානු කණ්ඩායම අතර පැවැත්වෙමින් තිබේ.

“නොවැළැක්විය හේතුවක් නිසා සෞදි තරුණියන් පිරිස ඇතුළු කණ්ඩායමට අවස්ථාවට සහභාගී වෙන්න වෙන්නේ නැහැ” යැයි කොකාකෝලා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

හේතුවක් කුමක්දැයි සඳහන් නොකළ කොකාකෝලා සමාගමේ මැදපෙරදිග මහජන සබඳතා අධ්‍යක්ෂ ඔමාර් බෙනිස් එය තරුණියන් පිළිබඳ ගැටලුවක් හෝ ස්ත්‍රී පුරුෂත්වය සම්බන්ධ හෝ ගැටලුවක් නොවන බව ද කීය.

“සිදුවීම් ජාලයක් නිසා තමයි මේ ගැටලුව ඇති වුණේ. ඉදිරි තරගවලට එම තරුණියන් සහභාගී කරවාගන්න අපි කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් අපි සෞදි ක්‍රීඩා බලධාරීන් සමඟ කටයුතු කරනවා” යැයි බෙනිස් කීවේය.

මේ වසරේදී ඉතිහාසයේ පළමුවරට සෞදි කාන්තාවන්ට පාපන්දු තරග නැරඹීමේ අවස්ථාවද උදා වූ අතර මේ වනවිට සෞදි අරාබිය කාන්තාවන්ට පනවා තිබූ සීමා කිහිපයක්ම ඉවත් කර තිබේ.

සෞදි අරාබියානු පාපන්දු කණ්ඩායම 2006 වසරෙන් පසු පාපන්දු ලෝක කුසලනා තරගාවලියකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වේ.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS