අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදීන්ට නඩු පවරන්න



සිරියාවේදී අත්අඩංගුවට ගත්, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ට එරෙහිව නඩු පැවැරීම මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපා රටවල් කළ යුතු යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කරමිණි. ඇමෙරිකාව සහ කුර්දි සටන්කාමීන් එක් වී, කළ මෙහෙයුම්වලදී අයි.එස්. ත්‍රස්තවාදීන් 800 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ සිටී. ඔවුන්ගෙන් වැඩි දෙනා යුරෝපා රටවලින් ඉරාකයට සහ සිරියාවට පැමිණ අයි.එස්. සංවිධානයට එක්වුණු මුස්ලිම් තරුණ තරුණියන්ය.

‘මම මහා බ්‍රිතාන්‍යයෙන්, ප්‍රංශයෙන්, ජර්මනියෙන් පමණක් නොව, සෙසු යුරෝපා රටවලින් ද ඉල්ලීමක් කරනවා. සිරියාවේදී අත්අඩංගුවට ගත් අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි නඩු විභාග පැවැත්වීම ඔවුන් කළ යුතුයි. ඇමෙරිකාවට බැහැ හැමදේම කරලා දෙන්න. හැමදේමට මුදල් වියදම් කරන්න. ඇමෙරිකාව මැදිහත් වෙලා සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කළා. එසේ නොවුණා නම් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කය වන්නේ යුරෝපා රටවල්. ඒ නිසා යුරෝපා රටවල් වගකීම ගන්න ඕනෑ. නඩු විභාග පැවැත්වීම ඔවුන් කළ යුතුයි. එසේ නොකරන්නේ නම්, වෙන කරන්න දෙයක් නැහැ ඇමෙරිකානු අපට සිද්ධ වෙනවා අත්අඩංගුවට ගත් එම ත්‍රස්තයන් නිදහස් කරන්න’ යැයි ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය සමඟ එක්වුණු වැඩි දෙනා මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, වැනි යුරෝපා රටවල මුස්ලිම් තරුණ තරුණියන් බව පැවැසෙයි. මෙම පිරිස 5,904 කි. මොවුන් ඉරාකයට සහ සිරියාවට ගොස් අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ එක් වී ඇත. එසේ එක්වුණු 1,765 දෙනකු යළි තම තමන්ගේ රටවලට ආපසු පැමිණ ඇති බව ද වාර්තා වේ. ඇමෙරිකා හමුදාවේ සහාය මැද සිරියාවේ කුර්දි සටන්කාමීන්ගේ අත්අඩංගුවේ සිටින අයි.එස්. ත්‍රස්තවාදීන් මුදා හැරියහොත්, ඔවුන් යළි යුරෝපා රටවලට පැමිණෙනු ඇති බවත්, ඔවුන් එම රටවල ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරනු ඇති බවත් බුද්ධි අංශ පෙන්වා දෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS