අඟහරු නගරයක් හදන්න එක්සත් අරාබිය සැරැසෙයි



එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වනවිට තවමත් ‘විස්කමක්’ පෑමට පිඹුරුපත් සකස් කරමින් සිටී. ඒ, එසේ මෙසේ විස්කමක් නොවෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැරැසෙන්නේ අඟහරු ලොවේ පළමු කුඩා නගරය ඉදිකිරීමටය. 

අඟහරු ලොව අධ්‍යනය මූලික කර ගනිමින්, මෙම නගරය ඉදිකිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම් වෙන්නේ 2117 වසරේදීය. ඒ ඔවුන්ගේ සහශ්‍රක ජාතික වැඩසටහනකට සමගාමීවය. අඟහරු ලොවේ ඉදිකිරීමට නියමිත මෙම කුඩා නගරය ගැන ලොවට අනාවරණය කෙරුණේ පසුගියදා පැවැත්වුණු ලෝක රාජ්‍ය සමුළුවේදීය. ඊට රටවල් 138 ක් සහභාගී විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලශක්තියෙන් අනූනය. එහෙයින් මුදල්වලින් ද අඩුවක් නැත. ඉදිරි දශක කිහිපයේ මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් කැපැවී, අඟහරු මතුපිට කුඩා නගරයක් නිර්මාණය කිරීමට තමන් කැමැත්තෙන්ම ඉදිරිපත් වන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පැහැදිලි කරයි. 

2117 අඟහරු ව්‍යාපෘතිය යනුවෙන් නම් කළ මෙම වැඩසටහන ලොවට හඳුන්වාදීම සිදු කරනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති යන ධුර දෙකම හොබවන ෂෙයික් මොහොමද් බින් රෂීඞ් අල් මොක්ටොම් රජුය. 

එම අවස්ථාවට අබු ඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාම් ද සහභාගී වූයේය. මිනිසා අඟහරු මත පය තැබීමෙන් පසු, අඟහරු මතුපිටදී ආහාර සහ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම කෙසේ කළ හැකිදැයි විමසා බැලීම හරහා මෙම නගරය ඉදිකරන බව ව්‍යාපෘති ප්‍රධානීහු පෙන්වා දෙති. 

රතු ග්‍රහයා මත ඉදිවන මෙම නගරයේ සැලැසුම් අනාවරණය කෙරුණේ පරිගණක සජීවීකරණ ඇසුරින් නිර්මාණය කළ ග්‍රැෆික් සටහන් ද යොදා ගනිමිනි. ‘විශ්වය තරණය කරමින්, වෙනත් ග්‍රහලෝකවලට මිනිසුන් යැවීම මානවයාගේ සිහිනයක් වුණා කාලයක් තිස්සේ. ඒ සිහිනය සැබෑවක් කරගන්න ජාත්‍යන්තරය මේ වනවිට ලහිලහියේ සූදානම් වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන අප අපේ දායකත්වය ඊට ලබා දෙනවා. අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන්, විශාල වශයෙන් ආයෝජනයක් කිරීමට පහසුකම් සහ මූල්‍ය ප්‍රතිපාදන ඇති ලොව ප්‍රධාන රටවල් නවයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් ඇතුළත් වෙනවා.’ යැයි 2117 අඟහරු ව්‍යාපෘතිය ගැන කරුණු පැහැදිලි කරමින් ෂෙයික් මොහොමද් බින් රෂීඞ් අල් මොක්ටොම් රජු කියා සිටියේය.

 

ලුසිත ජයමාන්න
මේල් ඔන්ලයින් ඇසුරිනි

 


RECOMMEND POSTS