අඟහරු ගවේෂණයට රොබෝ යානයක්



අභ්‍යවකාශ ගවේෂණයට එක් වී සිටින එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අද (20) අඟහරු ග්‍රහයා ගවේෂණයට රොබෝ යානයක් සාර්ථකව පිටත් කර හැරියේය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඔවුන්ගේ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරන්නේ ඩුබායි හි පිහිටි මොහොමද් බින් රෂීද් අභ්‍යවකාශ ආයතනය හරහාය. මෙම අඟහරු ගවේෂණ මෙහෙයුම සඳහා මොහොමද් බින් රෂීද් අභ්‍යවකාශ ආයතනයට ඇමෙරිකාවේත්, ජපානයේත් සහාය හිමිවෙයි.

අඟහරු බලා පිටත් කර යැවුණේ රොබෝ කක්ෂීය ගවේෂණ යානයකි. කක්ෂීය යානා යනු ග්‍රහලොවක කක්ෂයේ රැදී සිටිමින් ගවේෂණය කරන යානාය. යානය අඟහරුගේ කක්ෂයට පිවිස දින 687 ක් තිස්සේ අඟහරු අධ්‍යයනය කිරීමට නියමිත බව පැවැසෙයි.

යානය පෘථිවි කක්ෂයට ගෙන යෑම සිදුවූයේ ජපානයේ ‘එච්ටූඒ’ රොකට්ටුවක ආධාරයෙනි. ජපානයේ ටනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් රොකට්ටුව ගුවන්ගත කෙරුණි.

පෘථිවි කක්ෂය තෙක් රොකට්ටුවේ ආධාරයෙන් ගිය යානය‍ ඉන්පසු අඟහරු බලා යන කිලෝ මීටර් මිලියන 500 ක් දුර ගමන ආරම්භ කළේ යැයි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ විද්‍යා සහ තාක්ෂණ කටයුතු ඇමැතිනිය සාරා අල් අමීරී මාධ්‍ය හමුවේ පැවැසුවාය. මෙම අඟහරු ගවේෂණ මෙහෙයුම බාරව කටයුතු කරන්නේ ඇයයි.

එමිරේට්ස් රාජ්‍යය රොබෝ යානය නම් කර ඇත්තේ ‘අමල්’ යනුවෙනි. එහි අර්ථය බලාපොරොත්තුව යන්නය. අමල් රොබෝ යානයට අඟහරුට වෙත යෑමට මාස 7 ක් ගතවෙයි. ඒ අනුව යානය අඟහරුගේ කක්ෂයට පිවිසෙනු ඇත්තේ ලබන වසරේ එනම් 2021 පෙබරවාරියේය. අභ්‍යවකාශ ගවේෂණය සහ මෙහෙයුම් සඳහා යොමු වුණු පළමු අරාබි රට වන්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි. අරාබි රටකින් ගවේෂණ යානයක් අඟහරු බලා යැවුණු පළමු අවස්ථාව ද මෙයයි.

ලබන 2021 වසර වෙද්දී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිහිටුවා වසර 50 ක් සපිරෙයි. එය නිමිතිකොට ගනිමින්, රොබෝ ගවේෂණ යානය අඟහරුට යැවීමට හැකිවීම මහත් ආඩම්බරයක් බව විද්‍යා සහ තාක්ෂණ කටයුතු ඇමැතිනිය සාරා අල් අමීරී වැඩිදුරටත් පවසා තිබේ.

අමල් යානයේ බර කිලෝ ග්‍රෑම් 1,350 කි. යානයට අඟහරුගේ කක්ෂයේ එක් වටයක් යෑමට පැය 55 ක් ගතවනු ඇතැයි පැවැසෙයි. තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, අඟහරුගේ වසරක් යනු දින 687 කි. යානයේ ප්‍රධාන අරමුණ වන්නේ අඟහරුගේ කාලගුණය කෙබඳු දැයි අධ්‍යනය කිරීමය.

අමල් යානය විවිධාකාරයේ සන්වේදක 3 කින් සමන්විත වන අතර, අඟහරුගේ කාලගුණයේ වෙනස්කම් සහ කාලගුණ රටා අධ්‍යයනය එමගින් සිදු කෙරේ. අති පැහැදිලි කැමරා යානයට ඇතුළත්ය. මෙමගින් අඟහරුගේ ඕසෝන් ස්ථරයේ දූවිලි අංශු අධ්‍යයනය සිදු කරනු ඇත. මෙතෙක් සිදුවුණු අඟහරු මෙහෙයුම් බොහොමයකගේ අරමුණ වී ඇත්තේ අඟහරු මතුපිට භූගෝලීය වෙනස්කම් අධ්‍යයනයයි. අඟහරු‍ හෙවත් රතු ග්‍රහයා නිසරු තැනක් වූයේ කෙසේදැයි සොයා බැලීමය. සන්වේදක නිර්මාණයේ දී ඇමෙරිකාවේ සහාය හිමිවී තිබේ.

අඟහරු වෙත ගවේෂණ යානයක් යැවෙන පළමු අවස්ථාව මෙය වුවත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට අභ්‍යවකාශය අලුත් තැනක් නොවන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඔවුන් විසින් ම නිපදවූ චන්ද්‍රිකා හතරක් මේ වනවිට පෘථිවි කක්ෂයේ රදවා ඇත. ඒවා පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාය. ඊට අමතරව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නියෝජනය කරමින්, එරට ගගනගාමී හසා අල් මන්සූරි පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවැතුම්පොළට ද ගියේය. ඒ 2019 වසරේ ය.

ඩුබායිහිදීය (රොයිටර්)


RECOMMEND POSTS