728 ක් තුවාල ලබති



ලෙබනනයේ බේරූට් අගනුවර පැවැත්වෙන විරෝධතා අතරවාරයේදී 728 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඉකුත් සතියේදී බේරූට් අගනුවර සිදු වූ දැවන්ත පිපිරීමෙන් 160කට ආසන්න පිරිසක් මියගොස් 6,000කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දේශපාලනඥයන් ඊට වගකිව යුතු යැයි ද දේශපාලන පන්තිය ඇතුළුව පිපිරීමට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ද ඉල්ලමින් ලෙබනන වැසියෝ මෙලෙස අගනුවර විරෝධතාවල නිරත වෙති.

ඔවුහු මියගිය පිරිසට සාධාරණය ද ඉල්ලා සිටිති. ලෙබනන අගනුවරට දහස් ගණන් විරෝධතාකරුවන් එක්රැස් වී සිටින අතර පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළේය.

මාර්ග බාධක පෙරළා දමමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පිවිසීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය එලෙස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. විරෝධතා අතරවාරයේදී පොලිස් නිලධාරියකු ද මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.

රට අර්බුදයෙන් විසඳා ගැනීමට ඇති එකම ක්‍රමය ඉක්මනින් මැතිවරණය පැවැත්වීම යැයි ලෙබනන අග්‍රාමාත්‍ය හසන් දයිබ් පැවැසීය.

පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වනවිට 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

පිපිරීම සිදු වූ ස්ථානයේ තවමත් මුදාගැනීමේ සහ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර මියගිය සහ තුවාල ලැබූ ගණන තවදුරටත් වැඩිවනු ඇතැයි ද පැවසේ.

ඒ.එෆ්.පී./රොයිටර්


RECOMMEND POSTS