54 ක් මැරිලා



වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට අවසර නොදීම නිසා පසුගිය වසරේදී පමණක් පලස්තීන වැසියන් 54 දෙනකු මියගිය බවත් එම මරණවලට ඊශ්‍රායලය වගකිව යුතු බවත් මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

ගාසා තීරයේ ජීවත්වන වැසියන් සිය ගණනක් පසුගිය වසරේදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අවසර ඉල්ලා ඇති අතර ඊශ්‍රායලය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇතැයි ද එම සංවිධාන පවසයි. ඊශ්‍රායලය එසේ අවසර නොදීම හේතුවෙන් රෝගීන්ට ගාසා තීරයෙන් පිටතට පැමිණ ප්‍රතිකාර ගැනීමට නොහැකි වූ ඇතැයි ද එසේ අවසර නොදීම නිසා 54 දෙනකු මිය ගිය බව ද එම සංවිධාන පෙන්වාදෙයි.

ගාසා තීරය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වූ අල් මෙසාන් මධ්‍යස්ථානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියමන් රයිට්ස් වොච්, පලස්තීන වැසියන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර (මැප් සංවිධානය), ඊශ්‍රායලයේ මානව හිමිකම් සඳහා වෛද්‍යවරුන් (පී.එච්.ආර්.අයි සංවිධානය) ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස ඊශ්‍රායලයට චෝදනා කරයි.

දශක ගණනාවක් තිස්සේ ගාසා තීරය වටලා තිබීම දැන්වත් අවසන් විය යුතු යැයි ද එම ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් සංවිධාන කියයි.

වසර 2017 දී ලැබුණු වෛද්‍ය අවසර ඉල්ලීම්වලින් අඩකට අවසරය දීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කර තිබිණි. ඒ අනුව අවසර ලැබුණු පිරිස්වලට ඊශ්‍රායලය පාලනයේ තිබෙන රෝහල්වල වෛද්‍ය සායනවලට සහභාගී වීමට අවසර ලැබිණි. එම අවසර දීම් 2008 වසරෙන් පසු අඩුම අවසර දීම් සංඛ්‍යාව යැයි ද මානව හිමිකම් සංවිධාන පෙන්වාදෙයි.

පසුගිය වසරේදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවසර ඉල්ලමින්, ඉල්ලීම් 25,000ක් ලැබී තිබෙන අතර ඉන් 719ක් ආරක්ෂක හේතු සඳහන් කරමින් ප්‍රතික්ෂේප කර තිබේ. තවත් ඉල්ලීම් 11,281කට තවමත් අවසර ලැබී හෝ ප්‍රතික්ෂේප වී හෝ නොමැත.

හර්ෂණ තුෂාර සිල්වා

අල්ජසීරා


RECOMMEND POSTS