මමී 100 ක් වැලි අතරින් මතුවෙලා



මිසරය යනු පුරාණ ඊජිප්තුවය. මිසරයේ රජවරුන් හැඳින්වෙන්නේ ‘පාරාවන්’ යනුවෙනි. ලෝකයේ ඉපැරණි පුදුම හත ට ද ඇතුළත් තවමත් නොනැසී පවතින, ගීසා නම්නයේ යෝධ පිරමීඩ පාරාවන්ගේ සොහොන් ගෙවල්ය. පාරාවන්ගේ මමීකරණය කළ සිරුරු අලංකාර ලෙස සිතුවම් කළ මිනී පෙට්ටි තුළ තැන්පත් කර, මුතු මැණික්, රන් රිදී සමඟ පිරමිඩ තුළ මුද්‍රා තබා තිබේ.

මමීකරණයට ලක් කෙරුණේ පාරාවන් සහ පාරාවන්ට සමීව කටයුතු කළ ප්‍රභූවරුන් සිරුරු පමණි. සිරුරු මමීකරණය කරමින් ඒවා නරක් නොවන ආකාරයට මිනී පෙට්ටිවල තැන්පත් කෙරුණේ, මිසර ඇදහිලි අනුවය. සිරුර මමීකරණය කිරීම මගින්, ඊළඟ ආත්මයට යා හැකි බව මිසර වැසියන්ගේ විශ්වාසය වී තිබුණි. එසේ යෑමට නම්, එම තැනත්තාට ඔහුගේ හෝ ඇයගේ බරට සමානව වස්තුව ද තිබිය යුතුය. සොහොන් ගෙවල් තුළ වස්තුව තැන්පත් කෙරුණේ ඒ අනුවය.

ඊජිප්තුවේ වැළලුණු යටගියාව පුරාවිද්‍යාත්මක කැණීම් හරහා නිරන්තරයෙන් ඉස්මතු වෙයි. වැළලුණු පිරමීඩවල, නටබුන්, මමීකරණය කළ සිරුරු, මමීකරණය කළ සතුන් (විශේෂයෙන් බළලුන්) හමුවීම අරුමයක් නොවෙයි.  මහා පිරමීඩ ඇති ගීසා නිම්නය පිහිටා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 18 ක් දුරිනි. ගීසා නිම්නය සොහොන් බිමක් ලෙස ද සැලකෙයි. කයිරෝ අගනුවරට කිලෝ මීටර් 30 ක් දකුණු දෙසින් තවත් සොහොන් බිමක් පිහිටා ඇත. ඒ, සක්කාරාය. සක්කාරා භූමිය ද ලෝක උරුමයකි. ලොව පළමු පිරමීඩය දකින්න ලැබෙන්නේ මෙහිය. ලොව පළමු පිරමීඩය ලෙස සැලකෙන්නේ ක්‍රි.පූ. 27 වැනි සියවසේ දී ඉදි කළේ යැයි විශ්වාස කරන පඩි පිරමීඩයයි. ගිසා පිරමීඩ මෙන් දැවැන්ත නොවන මෙම පිරමීඩය ඉහළට ඉදි කර ඇත්තේ පඩි පෙළක් ලෙසිණි. පුරාවිද්‍යාඥයෝ පඩි පිරමීඩය යන නම ඊට යොදා ඇත්තේ එහෙයිනි. පඩි පිරමීඩය, ගීසා පිරමීඩ මෙන්, සිත් ඇදගන්නා පිරමීඩයක් ද නොවෙයි.

පඩි පිරමීඩයට නුදුරින් පසුගිය වසර කිහිපය පුරා කැණීම් සිදුවිය. ඊජිප්තු පුරාවිද්‍යාඥයන් පමණක් නොව, යුරෝපා රටවල පුරා විද්‍යාඥයෝ පවා ඊට දායක වූහ. පසුගිය නොවැම්බරයේ, කොරෝනා ජරමර මැද වුවත්, කැණීම් සිදු වෙද්දී වැළලී ගිය විශාල අංගනයකින් ඉතා අලංකාර ලෙස සිතුවම් ඇද වර්ණ ගැන්වූ දැව මිනී පෙට්ටි සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. පසුලිය සතිය වනවිට සිදු කළ කැණීම්වලින් හමුවුණු දැව මිනී පෙට්ටි ගණන 100 කි.

මිනී පෙට්ටිවල මමීකරණයට ලක් කළ සිරුරු, එසේත් නැතිනම් මමී වසර 2,500 ක් පැරණි බව සිදු කළ කාබන් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මිසරයේ මමීකරණයට ලක් කළේ පාරාවන් සහ පාරාවන්ට සමීව කටයුතු කළ ප්‍රභූවරුන් පමණක් හෙයින්, මෙම සිරුරු කාගේදැයි යන්න මෙතෙක් තහවුරු වී නැත. ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පැවැසෙයි. මමී 100 ක් හමුවීමේ මෙම විස්මිත සොයා ගැනීම ලොව කාගේත් අවදානය දිනා ගත් සිදුවීමක් වූ අතර, මාධ්‍යවලින් ඊට පුළුල් ප්‍රචාරයක් ද ලැබුණි.

මිනීපෙට්ටි සමඟ රන් ආලේපිත මුහුණු ආවරණ හා රන් ආභරණ ද සොයා ගැණුනි. එක් එක් සිරුරේ හැඩයට අනුව දැවමය පෙට්ටි නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි. “මේක එසේ මෙසේ සොයා ගැනීමක් නොවෙයි. එදා මෙදා තුළ සිදු කළ විශිෂ්ටතම සොයා ගැනීම්වලින් එකක්. මමීකරණය කළ මෙම සිය දෙනා කවුරුන් විය හැකිද යන්න ප්‍රශ්නාර්ථයක්. අබිරහසක්” යැයි ඊජිප්තුවේ පුරාවස්තු කවුන්සිලයේ මහ ලේකම් මොස්ටාෆා වසිරි රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

මෙම මමී සියය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි. ඊට දෙස් විදෙස් මාධ්‍ය කණ්ඩායම්වලට ඇරැයුම් කෙරුණි. සක්කාරා කැණීම් භූමියට පැමිණි මාධ්‍යවේදීන්ට පෙනෙන ආකාරයට පුරා විද්‍යාඥයෝ එක් මිනී පෙට්ටියක් ඉතාමත් ප්‍රවේසමෙන් විවෘත කළහ. මිනීපෙට්ටි විවෘත කෙරුණේ විශේෂඥයන්ගේ මැදිහත් වීමෙනි. ඊට හේතුව ඊජිප්තු වැසියෝ පුරාණ මිනීපෙට්ටි විවර කිරීමට අදිමදි කරන බැවිනි. ඒ, ඒවා විවෘත කිරීමෙන් සාපයකට ලක් වී කුරිරු මරණයක් අත්වේවි යැයි යන විශ්වාසය නිසාය.

වෙළුම්පටිවලින් ඔතන ලද මමීකරණය කළ සිරුර ඉතාමත් සුරක්ෂිතව පැවැතීම ගැන බොහෝ දෙනා විශ්මය පළ කරන්න විය. සිරුර ස්කෑන් පරීක්ෂණයකට ද ලක් කළේය. සෙසු මිනී පෙට්ටි 99 වෙන් වෙන්ම විවෘත නොකර සෑන්ක් කරන ලදී. ඒවායේ බහාලූ සිරුරු ද ඉතා හොඳින් සුරැකී ඇති බව ඒ අනුව පෙනී ගියේය. විවර කරන ලද පෙට්ටියේ වූ සිරුර අඩි 5.7 ක් පමණ උසැති පිරිමියකුගේය. මියයන්නට ඇත්තේ අවුරුදු 40 ත් 45 ත් අතර වයසේ දී යැයි කාබන් වාර්තා අනුව පැහැදිලි විය. මූලික පරීක්ෂණ අනුව, ඔහු හොඳ නිරෝගී අයකු බව පෙනී ගිය අතර, මරණය සිදුවුණු අයුරු තහවුරු නොවිණි.

ඊජිප්තුවේ ප්‍රධානතම ආදායම සංචාරක කර්මාන්තයයි. ශේෂ වූ නටබුන් දැක ගැනීමට ලොව නන්දෙසින් සංචාරකයෝ ඊජිප්තුවට ඇදී එති. ‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ ඊජිප්තු සංචාරක කර්මාන්තය බිඳ වැටී අවසන්ය. ඊජිප්තු පුරා විද්‍යාඥයන්ට අහම්ඹෙන් මෙන්, මෙම මමී හමුවූයේ එවැනි අවස්ථාවකය. සංචාරක කටයුතු යළි සුපුරුදු පරිදි ආරම්භ වෙද්දී, මෙම මමී නැරඹීමට බොහෝ දෙනා පැමිණෙනු ඇතැයි ඊජිප්තු රජයේ විශ්වාසය වී තිබේ. එහෙයින්, හමුවුණු මිනී පෙට්ටි කයිරෝ ප්‍රධාන නව කෞතුකාගාරයේ පමණක් නොව, ඊජිප්තුව පුරා පිහිටි සෙසු කෞතුකාගාරවල ප්‍රදර්ශනය කිරීමට නියමිත බව පැවැසෙයි.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS