ඉරාන විද්‍යාඥයාගේ අවසන් හෝරාව



‘ඉරානයේ බෝම්බ පියා’ යන ගෞරව නාමයෙන් හැඳින්වෙන්නේ මොෂේන් ෆක්රිසාදේය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ පුරෝගාමියා වන්නේ මොහුය. ඉරාන මිසයිල වැඩසටහනට ද ෆක්රිසාදේ සම්බන්ධය. ඇමෙරිකන් සම්බාධක හමුවේ, ඉරානය කොවිඞ් වසංගතයට මුහුණ දෙද්දී, ‘කොවිඞ් 19’ ආසාදිතයන්, පහසුවෙන් සහ ඉක්මනින් හඳුනා ගැනීමට, මිල අඩු කොවිඞ් පරීක්ෂණ කට්ටලයක් නිර්මාණය කර දුන්නේ ද මොහුය.

62 හැවිරිදි මොෂේන් ෆක්රිසාදේ අති දක්ෂ ඉරාන විද්‍යාඥයෙකි. ඉරානයට සම්පතකි. පසුගිය 27 වැනිදා මහමඟදී කුරිරු ලෙස මොෂේන් ෆක්රිසාදේ ඝාතනය කෙරුණි. එය ඉතා හොඳින් සැලැසුම් අයුරින් කළ ඝාතනයකි. ෆක්රිසාදේ ඝාතනය කළේ ඊශ්‍රායල මොසාඞ් ඒජන්තවරුන් යැයි ඉරාන රජය චෝදනා කරයි.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ‘හිසරදයක්’ කරගත් පාර්ශ්වකරුවන් දෙදෙනෙකි. ඒ, ඊශ්‍රායලය හා ඇමෙරිකාව ය. ඉරානය තරයේ කියා සිටින්නේ, ඔවුන් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කළේ රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණ ඇතිව බවටය. න්‍යෂ්ටික වැඩසටහනට සහාය දක්වන ප්‍රධාන රට රුසියාව බව ලොවට රහසක් නොවෙයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතරත් ඇමෙරිකාව සහ ඉරානය අතරත් දිගු කලක් තිස්සේ පවතින ‘විරසකය’ හේතුවෙන්, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, පරමාණු බෝම්බ හදනවා යැයි ඇමෙරිකාව චෝදනා නගන්නේ, ඊශ්‍රායලයේ උසි ගැන්වීමටය. මේ මොහොතේ, ඉරානය ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකමින් සිටී. ඉරානයේ පැතිර යන්නේ කොරෝනා තෙවැනි රැල්ලය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇති අතර, ඉරානය කොරෝනා තෙවැනි රැල්ලට මුහුණ දෙන්නේ මෙම සම්බාධක හමුවේ අසරණ වෙමිනි.

2015 වසරේ දී බැරැක් ඔබාමා ඇමෙරිකා ජනපති ධුරය හොබවද්දී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමට සමත් විය. ඒ, බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, චීනය, රුසියාව සහ යුරෝපා සංගමය ද හවුල් කර ගනිමිනි. එම එකඟතාවට අදාල ගිවිසුමට අනුව, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු සීමා කළේය. විදෙස් නිරික්ෂකයන්ට න්‍යෂ්ටික බලාගාර නිරීක්ෂණයට අවසර දුන්නේය.

ඒ අනුව, ඔබාමා මැදිහත් වී ඇමෙරිකාව විසින් ඉරානයට පනවනු ලැබූ වෙළෙඳ සහ ආර්ථික සම්බාධක ලිහිල් කළේය. ඔබාමා මැදිහත්වීමෙන් ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාව සම්බන්ධයෙන් යුදෙව් ඊශ්‍රායලය අප්‍රසාදය පළ කළේය. ඔබාමා පරිපාලනය අවසන් වී, 2016 දී රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පත් වීමත් සමඟ ඇමෙරිකාවත් ඊශ්‍රායලයත් අතර මිතුරුදම් අන් කවරදාටත් වඩා සමීප විය. ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගත්තේ පලස්තීනුවන්ගේ දැඩි විරෝධය මධ්‍යයේය.

ඊශ්‍රායලයේ කීමට කන් දෙමින්, ට්‍රම්ප් 2015 වසරට පෙර, ඉරානයට ඇමෙරිකාව පනවා තිබූ සම්බාධක යළි පැනැවීමට කටයුතු කළේය. ඒ, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගනිමිනි. අද ඉරානය අසරණ වී ඇත්තේ එම සම්බාධක නිසාය. ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ට්‍රම්ප් කටයුතු කළත්, සෙසු රටවල් තවමත් එම න්‍යෂ්ටික ගිවිසුමට එකඟව, ඉරානය සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.

ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥ මොෂේන් ෆක්රිසාදේ ඝාතනය කෙරුණේ මෙවැනි තත්ත්වයක් යටතේය. ෆක්රිසාදේ ඝාතනය කළේ ඊශ්‍රායලයේ මොසාඞ් බුද්ධි අංශය බවටත්, ඇමෙරිකාවේ සහාය ඔවුන්ට ලැබුණු බවටත් ඉරානය චෝදනා නගයි. ඉරානය නගන චෝදනා සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය හෝ මොසාඞ් බුද්ධි අංශය හෝ කිසියක් පවසා නැත. ඉරානය තුළ මොසාඞ් ඒජන්තවරුන් සිදු කළ පළමු රහස් ඝාතන මෙහෙයුම හෝ අවසන් ඝාතන මෙහෙයුම හෝ මෙය නොවනු ඇත.

පසුගිය අගෝස්තුවේ, මොසාඞ් ඒජන්තවරුන් අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ දෙවැනියා අබු මුහම්මද් අල් මසාරි මරා දැමුවේය. අබු මුහම්මද් අල් මසාරි සැඟවී ජීවත් වූයේ ඉරානයේය. මෙම ඝාතනය අනාවරණය වූයේ පසුගිය නොවැම්බරයේ වුවත්, ඝාතනය සිදු කර ඇත්තේ අගෝස්තු මාසයේය.

විද්‍යාඥ ෆක්රිසාදේගේ ‘අවසන් හෝරාව’ සම්බන්ධයෙන්, ඉරාන බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වාර්තා පාදක කර ගනිමින්, බි්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවියේ විශේෂ ලිපියක් පළවිය. එය සකස් කර ඇත්තේ ඉරාන මාධ්‍යවේදී මොහොමද් අහ්වාසේ ය. මෙම විශේෂාංගයට පාදක වන්නේ එම ලිපියේ අඩංගු තොරතුරුය.

ඉරානයේ අගනුවර තෙහෙරාන්ය. අගනුවර රැකියාවේ නියැලෙන, ඉරාන රජයේ ලොකුලොක්කන් පමණක් නොව, මැතිඇමැතිවරුන් පවා පදිංචිව සිටින බංගලා සහ නිවාස බොහොමයක් ඇත්තේ තෙහෙරාන් අගනුවර නොව, අගනුවර සිට සැතපුම් 20 ක් නැගෙනහිර දෙසින් පිහිටි ඇබ්සාද් නමැති කුඩා නගරයේය. ඉරාන වැසියන් බොහෝ දෙනකුට ‘දෙවැනි ගෙදර’ වන්නේ, 10,000 ක් දෙනා වාසය කරන මෙම ඇබ්සාද් නගරයයි. ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥ මොෂේන් ෆක්රිසාදේට අයත් බංගලාවක් ද මෙම නගරයේ පිහිටා තිබේ. ෆක්රිසාදේ, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනීගේත්, ඉරාන ජනාධිපති හසන් රොව්හිගේත්, ඉරාන රජයේත්, ඉරාන විප්ලවීය හමුදාවේත් ගෞරවය දිනා ගත් දේශප්‍රේමියෙකි. ඉරානයට ඉතාමත් වැදගත්, වටිනා තැනැත්තකු බැවින්, ෆක්රිසාදේගේ ආරක්ෂාවට, පැය 24 පුරා, විශේෂ ආරක්ෂක බළඇණියක් යොදවා තිබුණු අතර, ෆක්රිසාදේ ගමන් බිමන් යන්නේ වෙඩි නොවදින, කළු වීදුරු දැමූ, මෝටර් රථයකිනි. ඊට ඉදිරියෙන් සහ පසුපසින් හමුදා සොල්දාදුවෝ අවි අමෝරා ගනිමින් ගමන් කරති.

තෙහෙරාන් අගනුවර සිටි පැමිණ, අබ්සාද් වෙත පිවිසෙන මාර්ගය ආරම්භ වන්නේ වටරවුමකිනි. නගරයට පිවිසෙන මං තීරු දෙකකින් සමන්විත මාර්ගය දෙපස ගස්වලින් අලංකාර වී තිබේ. ෆක්රිසාදේ සෑම සිකුරාදා දිනකම, තෙහෙරාන් සිට අබ්සාද් නගරයට පැමිණෙන බව ඔහුගේ ඝාතකයන්ට තොරතුරු ලැබී තිබුණි. ෆක්රිසාදේ පැමිණෙන වෙලාව සහ ෆක්රිසාදේ ගමන් කරන රථ පෙළ කුමක්ද සම්බන්ධයෙන්, මෙම ඝාතන කණ්ඩායම සති ගණනක් තිස්සේ විමසිල්ලෙන් පසුවන්න ඇත. ඝාතනය සැලැසුම් කර තිබෙන්නේ, ෆක්රිසාදේගේ ගමන් බිමන් සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගැනීමෙන් පසුව බව පැහැදිලිය. හයිහුන්ඩායි රථයකට නැගුණු සිවු දෙනකු සහ යතුරුපැදිවලට නැගුණු සිවු දෙනකු සූදානමින් සිටියේ, අබ්සාද් නගරය දෙසින් වටරවුමට පැමිණ ෆක්රිසාදේ රිය පෙරහැර ඉලක්ක කර ගැනීමටය. වටරවුම අසල ස්නයිපර් තුවක්කුරුවෝ දෙදෙනෙක් සැඟවී සිටියහ. ෆක්රිසාදේගේ රිය පෙරහැර වටරවුමට පැමිණ ඉදිරියට ගමන් කරන මාර්ගයේ කාත් කවුරුවත් නැති නිසාන් පිකප් රියක් නවතා තිබුණු අතර, එහි පුපුරණ ද්‍රව්‍ය අටවා පුපුරුවා හැරීමට සූදානම් කර තිබුණි. මෝටර් රථ තුන වටරවුමට ළං වීමට පැය භාගයකට පමණ පෙර, ඒ අවට විදුලි බලය විසන්ධි විය. ඉරාන වැසියන්ට හෝ මාර්ගවල රිය පැදවූවන්ට හෝ එය අමුත්තක් නොවිණි. සැකයට කරුණක් ද නොවිණි. කෙසේ නමුත් එය විදුලිය විසන්ධි වීමක් නොව, විදුලිය විසන්ධි කිරීමකි.

ෆක්රිසාදේ රැගත් කළු පැහැති මෝටර් රථය සහ සෙසු රථ පෙළ වටරවුම දෙසට පැමිණෙමින් තිබුණි. පළමු රථය වටරවුම සහ නිසාන් පිකප් රථය පසු කළේය. ෆක්රිසාදේ රැගත් දෙවැනි රථය මාර්ගය අසල නවතා තිබුණු නිසාන් පිකප් රථයට ළං වූවා පමණි. පිකප් රථය පුපුරා ගියේය. සිදුවූයේ කුමක්දැයි තේරුම් බේරුම් කර ගැනීමට හෝ කාලයක් ඉතිරිව තිබුණේ නැත. ඒ සමඟම ඉදිරියෙන් ආ හයිහුන්ඩායි සැන්ටා ෆේ රථයේ සිටි ඝාතකයන් පිරිසත්, යතුරු පැදිවලින් ආ ඝාතකයන් පිරිසත් ෆක්රිසාදේ සහ ඔහුගේ ආරක්ෂක බළඇණිය ඉලක්ක කර ගනිමින් වෙඩි වරුසාවක් එකවරම එල්ල කරන්න විය. පසුගිය පළමු වැනිදා ඉරාන ආරක්ෂක අංශ කියා සිටියේ, දුරස්ථපාලකයකින් ක්‍රියාත්මක මැෂින් තුවක්කුවක් අවට ගොඩනැගිල්ලක සඟවා තිබුණු බවත්, එයින් ද ෆක්රිසාදේ ගමන් කළ රථයට වෙඩි ප්‍රහාර එල්ල වුණු බවත්ය. පිකප් රථයට සවි කර තිබුණේ අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයකි. පිපිරුමෙන් පිකප් රථයට පමණක් නොව, ෆක්රිසාදේ ගමන් කළ මෝටර් රථයටත්, ඉදිරියෙන් ගමන් කළ රථ දෙකටත් හානි සිදුවිය. විදුලි කණු විදුලි රැහැන්වලට හානි සිදුවිය. මාර්ගයට හානි සිදුවිය. සුන්බුන් මීටර් 300 ක් දුරට විසිවී ගියේය.

ෆක්රිසාදේ සමඟ, ඔහුගේ ආරක්ෂාවට ගමන් කරමින් සිටියේ නිකම්ම නිකම් ආරක්ෂක නිලධාරීන් නොවෙයි. ඉරාන විප්ලවීය හමුදාවේ, විශේෂ කාර්ය බලකායේ ඕනෑම අවස්ථාවකට නොබියව මුහුණ දිය හැකි සොබළුන් කණ්ඩායමකි. බෝම්බ පිපිරුමට හසුවී තුවාල ලබා සිටියත්, ඔවුහු වහා ක්‍රියාත්මක වී සතුරන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න වූහ. ෆක්රිසාදේගේ ආරක්ෂාවට සිටි සෙබළුන් කණ්ඩායම දක්ෂයන් වුවත්, ඝාතකයෝ අති දක්ෂයෝ වූහ. ඒ අනුව, මහමඟ දරුණු අවි ගැටුමක් සිදුවිය. ඝාතන කණ්ඩායමේ ප්‍රහාරය හමුවේ, ඉරාන විප්ලවීය හමුදා සෙබළු අසරණ වූහ. ඝාතක කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ තැනැත්තා, මෝටර් රථය තුළ තුවාල ලබා සිටි ෆක්රිසාදේ එළියට ඇද හිසට වෙඩි තබා ඔහු මියගිය බව තහවුරු කර දැනගත් බව ඉරාන ආරක්ෂක අංක සැකැසූ එක් වාර්තාවක දැක්වෙයි. මිනිත්තු කීපයක් ඇතුළත සියල්ල අවසන් වූ අතර, ඝාතන කණ්ඩායම ඔවුන්ගේ මෙහෙයුම අවසන් කරමින් වහා එතැනින් පිටව ගියේය.

ෆක්රිසාදේ ගමන් කළ මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල වූ බව දැනගත් සැණින්, පොලිසිය වහා ක්‍රියාත්මක වූ අතර ලේ විලක් මැද ඇද වැටී සිටි ෆක්රිසාදේ පොලිස් හෙලිකොප්ටරයකින් ළඟම රෝහලකට ගෙන ගිය නමුත් රෝහලේ ද විදුලිය විසන්ධි වී තිබුණි. ඒ අනුව, හෙලිකොප්ටරයට තෙහෙරාන් අගනුවර බලා පියාසර කිරීමට සිදුවිය. ඒ වනවිටත් ෆක්රිසාදේ මියගොස් සිටියේය. ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික විද්‍යාඥ මොෂේන් ෆක්රිසාදේ ඝාතනය කෙරුණු බවත්, කුරිරු ඝාතනය පසුපස ඊශ්‍රායලය සිටින බවට සැක කරන බවත්, පළමුවෙන් මාධ්‍ය හමුවේ නිවේදනය කළේ ඉරාන විදේශ කටයුතු ඇමැති ජාවාද් සරීෆ්ය. ඉරාන ආරක්ෂක අංශ වාර්තා අනුව, ෆක්රිසාදේ ඝාතන මෙහෙයුමට මොසාඞ් බුද්ධි අංශ නිලධාරීන් හැට දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වී ඇත. එයින් 50 දෙනකු ඔත්තු බැලීම, බුද්ධි තොරතුරු එක් රැස් කිරීම, ඡායාරූප ගැනීම, ගිනි අවි, ආයුධ සහ වාහන සැපැයීම ආදී කටයුතුවල නියැලී ඇත. ඝාතකයන් වූයේ ඉතිරි 12 දෙනාය. එම 12 දෙනා අතර ස්නයිපර් තුවක්කුකරුවන් දෙදෙනකු සහ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයන් බව පැවැසෙයි. ඉරානය තුළ සිදුවන සෑම කරුණු කාරණාවක් සම්බන්ධයෙන් ම අවසන් තීරණය ඇත්තේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී සතුවය. ‘ෆක්රිසාදේ ඝතනය කළ කිසිවකුට කිසිදු සමාවක් ලැබෙන්නේ නැහැ. සමාවක් දෙන්නෙත් නැහැ. ඒ සියලු දෙනා අප හඳුනා ගන්නවා. ඔවුන්ට සුදුසු ආකාරයේ දඬුවම් හිමිවේවි.’ අයතුල්ලා අලී කොමේනී ප්‍රතිඥා දුන්නේය. මොසාඞ් ඒජන්තවරුන්ට සහාය ලබා ඇත්තේ ඉරාන රජයේ උදහසට ලක් වී සිටින මුජහදීන් ඊ කලාක් කල්ලිය යැයි ද ඉරාන රජය චෝදනා කරයි. මෙම කල්ලියට ඉරාන විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීහු පවා එක් වී සිටිති.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙර, ඔබාමා පරිපාලන සමයේ ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ජෝන් බ්‍රෙනන් ය. ඒ, 2013 සිට 2017 තෙක් කාලයේය. ෆක්රිසාදේ ඝාතනය කළේ කවුරුන්දැයි සම්බන්ධයෙන් බ්‍රෙනන් කිසිවක් පවසා නැත. එසේ වුවත්, ඔහු විද්‍යාඥයාගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළේය. ‘මේ මොහොතේ ෆක්රිසාදේ මරා දැමීමෙන් කාටවත් අවාසියක් මිසක් හොඳක් වෙන්නේ නැහැ. එම ඝාතය අපරාධයක් හැටියට මා දකිනවා. කවුරුන් කළත් ඒක දුරදිග සිතන්නේ නැතිව කළ මෝඩ වැඩක්. කලාපීය වශයෙන් නව අර්බුදයක් නිර්මාණය කිරීමට මෙම සිදුවීම සමත්වේවි’ යැයි බ්‍රෙනන් එම අවස්ථාවේදී පැවැසුවේය. ‘ෆක්රිසාදේ ඝාතනය සිදුවූයේ ඔහු ඉරාන න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන්වලට සම්බන්ධ, ලොවට අනතුරුදායක තැනැත්තකු වූ නිසා නොවන බව පැහැදිලියි. මෙය දේශාපාලන ඝාතනයක්’ යැයි ජගත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

ඉරාන උත්තරීතර නායකයා අවසන් ගෞරව දක්වමින් ...

මේ අතර, ඉරාන විද්‍යාඥ ෆක්රිසාදේ ඝාතනය පසුපස සිටින්නේ ඊශ්‍රායලය යැයි නම සඳහන් නොකළ ඇමෙරිකන් බුද්ධි නිලධාරීන් දෙදෙනකු නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පවසා ඇත. න්‍යෂ්ටික විද්‍යාඥ මොෂේන් ෆක්රිසාදේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය ද මෙතෙක් කිසිවක් පවසා නැත. එක් අවස්ථාවක, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් බවත්, ඉරානය පරමාණු බෝම්බ නිපදවන බවටත් චෝදනා නගමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන්ට ෆක්රිසාදේ ගැන පවසා ඇත. ‘ඔහුගේ නම මතක තියා ගන්න. ඔහු තමයි මොෂේන් ෆක්රිසාදේ’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී පැහැදිලි කළේය. ඊශ්‍රායල රජය හෝ බුද්ධි අංශ හෝ මෙම ඝාතනය සම්බන්ධයෙන් කිසිවක් පවසා නැතත්, ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබුණේ විද්‍යාඥ ෆක්රිසාදේගේ නම එක්සත් ජාතීන්ගේත් සංවිධානයේත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේත් අනතුරුදායක පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවට ඇතුළත් වී ඇති බවය. ඉරාන විදේශ ඇමැති මීට දැඩි විරෝධය පළ කර ඇත්තේ වැරදි තොරතුරු ප්‍රසිද්ධ කරන බව පෙන්වා දෙමිනි.

න්‍යෂ්ටික විද්‍යාඥ මොෂේන් ෆක්රිසාදේ ඝාතනය බටහිර රටවල ද විරෝධයට හේතුවක් විය. කටාර් විදේශ අමත්‍යාංශ කියා සිටියේ විද්‍යාඥයා ඝාතනය මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බවය. බ්‍රිතාන්‍ය රජය එම ඝාතනය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. එක්සත් ජාතීන්ගේ ඉරාන නියෝජිත මජීත් රවන්චි, මොෂේන් ෆක්රිසාදේ ඝාතනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ටත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයටත් ලිපි දෙකක් යොමු කර තිබේ. ඝාතනය පසුපස ඊශ්‍රායලය සිටින බවත්, ඝාතනය සිදුවූයේ ඇමෙරිකාවේ අනුදැනුම යටතේ බවත් ඉරාන නියෝජිතයා එම ලිපි මගින් පෙන්වා දී තිබේ.

මෙම වසර ආරම්භ වූයේ ද ඇමෙරිකාව සහ ඉරානය අතර අර්බුදයකිනි. ඇමෙරිකා ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ‘හිතුවක්කාර’ තීරණයක් ඊට හේතුව විය. ට්‍රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් හමුදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමින්, ඉරාන විප්ලවීය හමුදාවේ අතිරේක හමුදා බලඇණියේ ප්‍රධානී ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය කෙරුණි. ඒ, ජනවාරි 3 වැනිදාය. ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාරයට ලක්වෙද්දී, සුලෙයිමානී ඉරාකයේ බැග්ඩෑබ් ගුවන්තොටුපොළට පැමිණ සිටියේ ඉරාක හමුදාවේ අතිරේක බලඇණි ප්‍රධානියකු වූ අබු මහ්දි අල් මුහන්දිස් හමුවීමටය. මිසයිල ප්‍රහාරය එල්ල වූයේ සුලෙයිමානී සහ මුහන්දිස් බැග්ඩෑඞ් ගුවන්තොටුපොළෙන් පිටවී යද්දී ඔවුන් ගමන් කළ රථ පෙරහරටය. මුහන්දිස් ද ප්‍රහාරයෙන් මියගියේය. ඉරානය ඇමෙරිකාවෙන් පළිගන්නා බව පැවැසුවේය. ඒ අනුව ජනවාරි 8 වැනිදා ඉරාකයේ පිහිටි ඇමෙරිකන් හමුදා කඳවුරු දෙකකට බැලැස්ටික් මිසයිලවලින් පහර දුන්නේය. එයිත් ඇමෙරිකන් සොල්දදාදුවන් බොහෝ දෙනකු මියගිය නමුත් ඇමෙරිකා හමුදාවත් රජයත් එය වසං කළේය. ඉරානය එසේ මිසයිලවලින් පහර දෙද්දී අත්වැරදීමකින් එක් මිසයිලයක් තෙහෙරාන් නුවරින් ගුවන්ගත වුණු යුක්රේන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකට වැදුණි. යානය කඩා වැටුණේ එහි සිටි 176 දෙනාගේ ජීවිත බිලි ගනිමිනි. එම අවාසනාවන්ත සිදුවීම මුල්කොට ගනිමින්, ඉරානයත් ඇමෙරිකාවත් අතර, ලෝක යුද්ධයක් තෙක් දුරදිග යෑමට හේතුවක් වූ අර්බුදය අවසන් විය.

ඇමෙරිකාවටත් ඊශ්‍රායලයටත් විරෝධය දක්වන ඉරාන වැසියෝ...

න්‍යෂ්ටික විද්‍යාඥ මොෂේන් ෆක්රිසාදේ ඝාතන සිදුවීම නව අර්බුදයකට මුල පිරීමක් බව පැහැදිලිය. පසුගිය නොවැම්බර් 3 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත් වී නැතත්, ජයග්‍රාහකයා වී සිටින්නේ ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ය. ජනාධිපතිවරණය දූෂිත යැයි චෝදනා නගමින් ට්‍රම්ප්, ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කර තිබේ. නිල ප්‍රතිඵලය ප්‍රමාද වන්නේ ඒ නිසාය. කෙසේ නමුත් බයිඩන්ගේ ජය පැහැදිලිය. ජනාධිපතිවරණයෙන් පසුව ද ට්‍රම්ප් උත්සාහ කර ඇත්තේ ඉරානයට ප්‍රහාර එල්ල කිරීමටය. කෙසේ නමුත් ඔහුගේ උපදේශකයන් මැදිහත් වී එය වළක්වා ඇත. 2015 දී ඇති කරගත් ඉරාන න්‍යෂ්ටික එකඟතාවට ඇමෙරිකාව සම්බන්ධ කරමින්, ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් කිරීමට බයිඩන් පොරොන්දු වී ඇත. එම තිරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ වැඩි පැහැදීමක් නැති බව පැහැදිලිය. කෙසේ නමුත් ෆක්රිසාදේ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකා ඉරාන සබඳතා තවත් අවුල් වී යනු නිසැකය. එය ඉදිරියේ දී බයිඩන් පරිපාලනයට අභියෝගයක් වනු නිසැකය.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS