අඟහරු ගිය අමල්



අඟහරුගේ රහස් අනාවරණය කර ගැනීමේ අරමුණින්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, අඟහරු වෙත යැවූ ‘අමල්’ නමින් නම් කළ රෝබෝ ගවේෂණ යානය දීර්ග ගමනකින් පසු අඟහරුගේ කක්ෂයට පිවිසියේය.

‘අමල්’ යනු කක්ෂීය ගවේෂණ යානයයක් වන අතර, එය අඟහරු මතුපිටට පතිත කිරීමක් සිදු නොකරයි. යානය කක්ෂයේ රැඳී සිටිමින් අඟහරුගේ දත්ත රැස් කිරීම සිදු කරනු ඇති බව පැවැසෙයි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පළමු අඟහරු ගවේෂණ මෙහෙයුම මෙය වන අතර, අරාබි රාජ්‍යයකින් අඟහරු වෙත යැවුණු පළමු රොබෝ ගවේෂණ යානය වන්නේ ද මෙයයි. අඟහරු ගවේෂණයට යානායක් යැවූ පස්වැනි රට වන්නේ අරාබි එමිරේට්ස් රාජ්‍යයයි.

පසුගිය වසරේ ජූලි මාසයේ අඟහරු හෙවත් රතු ග්‍රහයා පෘථිවියට ළංව පිහිටියේය. ඒ අනුව, රටවල් තුනක් අඟහරුට රොබෝ ගවේෂණ යානා පිටත් කර හැරියේය. එම රටවල් තුන වන්නේ ඇමෙරිකාව, චීනය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි. එම යානා අතරේ ද අඟහරුට ළංවීමේ තරගයක් පැවැති අතර එයින් ජයග්‍රහණය කළේ ‘අමල්’ රොබෝ යානයයි.

‘අමල්’ යන්නෙහි අර්ථය ‘බලාපොරොත්තුව’ යන්නය. ‘අමල්’ මෙහෙයුම දියත් කළේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි පිහිටි ‘මොහොමද් බින් රෂීද්‘ අභ්‍යවකාශ ආයතනයයි. අඟහරු කක්ෂයට පිවිසි ‘අමල්’ දින 687 ක් (අඟහරු ග්‍රහයාගේ එක් වසරක් යනු දින 687 කි.) එහි රැඳී සිටිමින්, අඟහරු ගවේෂණයේ නියැලෙනු ඇත. ‘අමල්‘ ගවේෂණ යානය අඟහරු බලා පිටත්ව ගියේ පසුගිය 2020 ජූලි 15 වැනිදා ය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ‘අමල්’ යානය නිපදවීමටත්, එය අඟහරු යැවීමටත්, අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් අත්දැකීම් සහ පළපුරුද්ද ඇති රටවල දෙකක සහාය ලබා ගෙන තිබේ. එම රටවල් වන්නේ ඇමෙරිකාව සහ ජපානයයි.

‘අමල්‘ ගවේෂණ යානය නිපදවූවත්, යානය අභ්‍යවකාශයට තල්ලු කර හැරීමට සුදුසු රොකට් තාක්ෂණයක් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට නොමැත. එහෙයින්, ‘අමල්‘ අභ්‍යවකාශයට යැවීමට ජපාන අභ්‍යවකාශ ආයතනයේ සහාය ලබා ගැණින. ඒ අනුව, ‘අමල්‘ යානය රැගත් රොකට්ටුව, ජපානයේ ටනේගැෂිමා දූපතේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කෙරුණි.

‘අමල්‘ යානයේ බර කිලෝ ග්‍රෑම් 1,350 ක් වන අතර, ‘අමල්‘ යානයට අඟහරුගේ කක්ෂයේ එක් වටයක් යෑමට පැය 55 ක් ගතවනු ඇතැයි පැවැසෙයි. ‘අමල්‘ යානයේ ප්‍රධාන අරමුණ වන්නේ අඟහරුගේ කාලගුණය කෙබඳු දැයි අධ්‍යනය කිරීමය. ‘අමල්’ යානය විවිධාකාරයේ සන්වේදක 3 කින් සමන්විත වන අතර, අඟහරුගේ කාලගුණයේ වෙනස්කම් සහ කාලගුණ රටා අධ්‍යයනය කරනු ඇත.

එම සන්වේදක 3 ට අති පැහැදිලි කැමරාවක් ඇතුළත්ය. ඒවායින්, අඟහරුගේ ඕසෝන් ස්ථරයේ දූවිලි අංශු අධ්‍යයනය සිදු කෙරයි. මෙතෙක් සිදුවුණු අඟහරු මෙහෙයුම් බොහොමයකගේ අරමුණ වී ඇත්තේ අඟහරු මතුපිට භූගෝලීය වෙනස්කම් අධ්‍යයනයයි.

අඟහරු අද ජීවයෙන් තොර නිසරු තැනක් වූයේ කෙසේදැයි සොයා බැලීම ‘අමල්’ගේ ප්‍රධාන අරමුණක් වෙයි.

යානයේ මෙම සන්වේදක නිර්මාණයේ දී ඇමෙරිකාවේ නාසා ආයතනයේ සහාය ‘මොහොමද් බින් රෂීද්’ විද්‍යාඥයන්ට සහ ඉන්ජිනේරුවන්ට හිමිවී ඇත.

‘අඟහරු කියන්නේ පෙනුමින් අප පෘථිවියට සමාන ග්‍රහලොවක්. ඒත් එක්තරා කාලයකදී යම් කිසි සිදුවීම් සමුදායක් නිසා අඟහරු වෙනස් වුණා. දැන් අඟහරු මතුපිට ජලය ඇත්තේ නැහැ. ජීවයේ ප්‍රධානතම සාධකය වන්නේ ජලයයි. අඟහරු මතුපිට වැලි කුණාටු හටගන්නවා. ඒවා බිහිසුණුයි. මාස ගණනක් එක දිගම පවතිනවා. මේ වැලි කුණාටු අධ්‍යයනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා’ යැයි ‘අමල්‘ මෙහෙයුම බාර දෙවැනියා ලෙස කටයුතු කරන, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ විද්‍යා සහ තාක්ෂණ කටයුතු ඇමැතිනිය සාරා අල් අමීරී පැහැදිලි කර තිබේ.

'ද සන්' ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS