මහ සමුළුවට කටාර් එමීර් යයි



එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වීමේ අරමුණින්, කටාර් එමීර් ෂෙයික් අල් තානී ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණියේය.

72 වැනි එක්සත් ජාතීන්ගේ මහ සමුළුව පැවැත්වෙන්නේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේය. කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ප්‍රමුඛ දූත පිරිස නිව්යෝක් නුවරට පැමිණියේ තුර්කියේත් ඉන්පසු ජර්මනියේ බර්ලීන් නුවරත් සංචාරය කිරීමෙන් පසුව යැයි ‘ද පෙනින්සියුලා’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

කටාර් එමීර්වරයා මෙවර එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වන්නේ කටාරය මුල්කොට ගනිමින්, සෞදිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් අතරේ අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවකදීය.

බටහිර රටවල් බොහොමයක් කටාර් එමීර්වරයාගෙන් ඉල්ලා ඇත්තේ, හටගෙන ඇති අර්බුදය සාමකාමීව කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙසය. නිව්යෝක් නුවරට පැමිණීමට පෙර, එමීර්වරයා සිය මිතුරා වන තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් හමුවූයේය. කටාරය මුල්කොට ගනිමින් නිර්මාණය වුණු අර්බුදයේ දී කටාරයට තුර්කියේ සහාය නොඅඩුව හිමිවෙයි.

කටාර් රාජ්‍යයේ විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඊට විරෝධය පළ කරමින්, සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් කටාරයට පනවා ඇති නීතිවිරෝධී සම්බාධක ඉවත් කළහොත් පමණක්, අර්බුදය විසඳා ගැනීමට සාකච්ඡා පැවැත්වීමට යොමු වන බව කටාර් එමීර්වරයා පෙන්වා දී ඇත.

සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව පවසා ඇත්තේ තමන් කටාරයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට නම් කොන්සේදි 13 කට කටාර් රාජ්‍යය එකඟවිය යුතුයි කියාය. කටාර් එමීර්වරයා එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හමුවේ ද පෙන්වා දී ඇත්තේ එම සම්බාධක කටාර් රාජ්‍යයේ ස්වෛරීත්වයට අනතුරක් කියාය.

කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති අර්බුදය විසඳීමට මැදහත්කරුවකු ලෙස ඉදිරිපත් වීමට කුවේට් රාජ්‍යය සූදානමින් සිටී. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හමුවේ කටාර් එමීර්වරයා සිය අදහස් දැක්වීමක් ද කළේය.

‘සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගන්න අප සූදානම්. ඒත් ඊට කලින් කටාර් රාජ්‍යයට පනවා ඇති නීතිවිරෝධී සම්බාධක ඉවත් කිරීම කළ යුතුයි. කුවේටය මැදිහත් වී, අර්බුදය විසඳා ගැනීමට කිසියම් හෝ යාන්ත්‍රණයක් ඉදිරිපත් කළොත්, අපි ඒ ගැන උන්නදු වෙනවා’ යැයි කටාර් එමීර්වරයා පෙන්වා දුන්නේය.

කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් නිර්මාණය වුණු අර්බුදය විසඳීමට මැදහත්කරුවකු වීමට සැරැසෙන කුවේට් රාජ්‍යයට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ද සහාය හිමිවී ඇතැයි ද වාර්තා වේ.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS