පොදු සමා කාලය දීර්ඝ කෙරේ



නීතිවිරෝධී අන්දමින් කුවේට් රාජ්‍යයේ රැඳී සිටින විදේශික ශ්‍රමිකයින්ට සිය මව් රටවල් බලා යාමට ලබා දී තිබු පොදු සමා කාලය තවත් දෙමසකින් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර ඇත.

ඒ අනුව මේ මස 22 දිනෙන් අවසන් වීමට නියමිතව තිබු පොදු සමා කාලය අප්‍රේල් 22 දක්වා දීර්ඝ කෙරෙනු ඇත.

මෙම පොදු සමා කාලය තුළ නීතිවිරෝධීව කුවේටයේ සිටි විදේශ ශ්‍රමිකයින් 14,000කට නීත්‍යානුකූලභාවය මේ වනවිට හිමි වී ඇති අතර ඉන්දියානුවන් වැඩි පිරිසක් ප්‍රතිලාභ හිමි කරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලාංකිකයන් 4000 කට ආසන්න පිරිසක් මේ වනවිට එරටින් පිටව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 

එමෙන්ම, බංගලිදේශ ශ්‍රමිකයින්  25000කට අධික සංඛ්‍යාවක්  කුවේටයේ නීති විරෝධීව රැදී සිට ඇති අතර ඔවුන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් තවමත් පොදු සමා කාලයෙන් ප්‍රයෝජන ලබා ගෙන තිබෙන බව ආරංචි මාර්ග වාර්තා කරයි.

කුවේට් ගුවන්තොටුපළ ආරංචි මාර්ගවලට අනුව එරට නීති විරෝධී අයුරින් රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 1183ක්, ඊජිප්තු ජාතිකයන් 647 ක්, පිලිපීන් ශ්‍රමිකයින් 390ක් පසුගිය දින කිහිපය තුළ ගුවන්තොටෙන්  සිට රටවල් බලා පියාසර කර ඇත.

එනමුත් කුවේටයේ පිලිපීන තානාපති කාර්යාලය තුළ ලියාපදිංචි වී ඇති නීති විරෝධී ශ්‍රමික සංඛ්‍යාව 7500කට අධිකවන බවත් ඉන්දීය තානාපති කාර්යාලය තුළ ලියාපදිංචි නීතිවිරෝධී ශ්‍රමික සංඛ්‍යාව 8500කට අධික වන බවත් වාර්තා වේ.

ඔවුන්ගෙන් ඉතා කුඩා පිරිසක් පමණක් මේ වනවිට පිටවගොස් ඇති නමුත් තවත් විශාල ප්‍රමාණයක් කුවේටය තුළ තවමත් නීති විරෝධී අන්දමින් රැඳී සිටින බව බලධාරීන් පෙන්වා දෙයි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS