කිම් ජොන් උන් හමුවන්න සිරියා ජනපති සැරැසෙයි



උතුරු කොරියා නායක කිම් ජොන් හමුවීමට තමන් උතුරු කොරියාවට යෑමට කැමැති බව බලය අත්හැරීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් පවසා ඇත.

සිරියා ජනාධිපති අසාද් මෙසේ පවසා ඇත්තේ, සිරියාවට පත් කළ නව උතුරු කොරියා නව තානාපති මුන් ජොන්ග් නාම්ය උණුසුම් ලෙස පිළිගනිමිනි. නව උතුරු කොරියා තානාපතිවරයා  මුන් ජොන්ග් නාම් සිරියා ජනාධිපති හමුවෙමින් ඔහුට අක්තපත්‍ර ප්‍රදානය සිදුකළේය.

සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්, මෙසේ නිල සංචාරයක් සඳහා උතුරු කොරියාවට ගියහොත්, 2011 වසරේ කිම් ජොන් උන් බලයට පත්වීමෙන් පසු එරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වනු ඇත්තේ අසාද්ය.

බටහිර සම්බාධක හමුවේ හුදෙකලා කරනු ලැබ සිටිද්දී, උතුරු කොරියාවට ශක්තිමත් මෙන්ම සමීප මිතුරකු ලෙස ද කටයුතු කළේ සිරියාවය. සිරියාව සහ උතුරු කොරියාව අතර පවතින්නේ යහපත් සබඳතාවකි.

බටහිර කුමන්ත්‍රණ පරදා, ඉස්ලාමීය අන්තවාදීන් පරාජය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් උතුරු කොරියා නව තානාපති මුන් ජොන්ග් නාම් සිරියානු ජනාධිපති අසාද්ට සුබ පැතීමට ද අමතක නොකළේය. අයි.එස්.අයි.එස් හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට හැකියාව ලැබී ඇත. ඒ, රුසියාව, ඉරානය සහ තුර්කියෙන් ලැබෙන සහාය හේතුවෙනි.
උතුරු කොරියා නායක කිම් ජොන් උන්, න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් කැමැත්ත පළ කරමින්, සාම මාවතකට පිවිස සිටී. ලෝකයෙන් හුදෙකලා වී සිටිද්දී, අසල්වැසි චීනය ද උතුරු කොරියාවේ සමීපතම මිතුරකු විය. එම මිතුදම් ශක්තිමත් කරමින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් අවස්ථා දෙකකදී චීනයට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් ද හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ලබන 12 වැනිදා, සිංගප්පූරුවේදී මුහුණට මුහුණ හමුවක් පැවැත්වීමට නියමිතය. එම හමුව නිසැක වශයෙන්ම පැවැත්වෙන බව ට්‍රම්ප් පසුගිය දා අවධාරණය කළේය.

බලය අත්හැර ධුරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති අසාද් සහ ට්‍රම්ප් අතර යහපත් සබඳතා නොමැත. ට්‍රම්ප් සහ ඇමෙරිකාව උත්සාහ ගන්නේ සිරියා ජනාධිපති ආසාද් බලයෙන් නෙරපා දැමීමටය.

සිරියා ජනාධිපති අසාද්ට එරෙහිව අවි අතටගෙන සටන් වදින විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහ කුර්දි සටන්කාමීන්ට ඇමෙරිකාව සහාය ලබා දෙයි. සිරියා ජනාධිපති අසාද්ට දිගටම බලයේ රැඳී සිටීමට හැකියාව ලැබී ඇත්තේ ඔහුට රුසියාවේත්, ඉරානයේත්, තුර්කියේත් සහාය ලැබෙන නිසාය.

සිරියා ජනාධිපති අසාද් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර සමීප මිතුදම් පවතින්නේ නම්, එය ලබන 12 වැනිදා සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත ට්‍රම්ප් සහ කිම් ජොන් උන් හමුවට එය බාධාවක් වේවි යැයි ලෝක දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS