වැලි කතරේ සංහිදියාව



රාමසාන් උපවාස සමය වෙනුවෙන් අබුඩාබියෙහි වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව උදෙසා ඉෆතාර් සංග්‍රහයක් පසුගිය දා අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයෙහි දී පවත්වන්නට විය.

වාර්ෂිකව මුස්ලිම් ප්‍රජාව උදෙසා පවත්වනු ලබන ඉෆ්තාර් සංග්‍රහය ( Iftar Party ) මෙවර ද 2018.06.08 වන දින පැවැත්වීමට අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් හා අධීක්ෂණයෙන් කටයුතු සංවිධානය විය. ඒ සදහා තානාපති කාර්යාලය හා බැඳුනු සමිති සමාගම් වල සහයෝගය ද ලැබුණු අතර ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය ද ඉහල මට්ටමක පැවතිනි. ආගම් භේද, ජාති භේද පසෙක ලා එකාමෙන් එක්ව සංවිධානය වූ මෙම සංග්‍රහය අබුඩාබියෙහි වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ නොමද ඇගයීමට ලක්විය.

නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සිසිර සෙනෙවිරත්න මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට නොමද සහයක් ද ලබා දෙන ලදී.

තම මව් රටින් බැහැරව සිටින ශ්‍රී ලාංකික සැමගේ ආගමික, ජාතික සංහිදියාව මනාවට පිළිබිඹු කරන්නා වූ වැඩ සටහනක් බවට මෙම ඉෆතාර් සංග්‍රහය පරිවර්ථනය වී හමාරය.

මුස්ලිම් බැතිමතුන් රාමසාන් උපවාස සමයේ සිදු කරනු ලබන කැපවීම, ආත්ම දමනය මෙන්ම සමානාත්මතාවය සදහා මඟපෙන්වන පරිත්‍යාගශීලීත්වය ජාතික සමඟිය සහ සංහිඳියාවට මහඟු ආදර්ශයකි.

සටහන - ප්‍රභාත් ගුණසේකර

ජායාරූප - චන්දන මදනායක


RECOMMEND POSTS