ඉරාක ඉරාන හමුදාපතිවරු හමුවෙති



ඉරාක රජයේ දැඩි විරෝධය මැද, එරට කුර්දිස්තාන පළාතේ පැවැති ජනමත විමසුම සම්බන්ධයෙන් ඉරාක සහ ඉරාන හමුදා ප්‍රධානීන් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

එම සාකච්ඡා පැවැත්වූයේ ඉරානයේ තෙහෙරාන් අගනුවරදීය. තෙහෙරාන් අගනුවරට පැමිණි ඉරාක හමුදාපති ඔට්මාන් අල් ඝානී උණුසුම් ලෙස පිළිගැනීමට ඉරාන හමුදාපති මේජර් ජනරාල් මොහොම්මද් බකේරී කටයුතු කළේය.

ඉරාක රජයේ විරෝධය මැද කුර්දිස්තාන පළාතේ ජනමත විමසුමක් පැවැත් වූයේ කුර්දිස්තානය ඉරාකයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් බවට පත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙනි.

ජනමත විමසුමෙන් පෙනී ගොස් ඇත්තේ කුර්දිස්තානයේ බහුතරය ඉරාකයෙන් වෙන්වීමට කැමැත්ත පළ කර ඇති බවය. කෙසේ නමුත් ඉරාක රජයේ විරෝධය මැද, ඉරාක ව්‍යවස්ථාවට පටහැනි අයුරින් පැවැත්වුණු ජනමත විමසුම නීත්‍යාණුකූල නොවන බව ඉරාක අගමැතිවරයා ද පවසා ඇත.

ඉරාක සහ ඉරාන හමුදාපතිවරුන් ඒකමතිකව තීරණය කළේ කුර්දිස්තානය වෙනම රාජ්‍යයක් බවට පත් කිරීම හරහා නව අර්බුදයක් නිර්මාණය වනු ඇති බවත්, එමගින් තවත් මහා ලේ වැගිරීමක් සිදුවනු ඇති බවත්ය. තුර්කිය පවා කුර්දි වැසියන් පැවැත් වූ එම ජනමත විමසුමට විරෝධය පළ කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS