තරහා වෙන්න විදියක් නෑ



ඇමෙරිකන් පුරවැසියකු ද වන සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගීගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සහ ඔහු කපාකොටා මරාදැමුවේ යැයි සෞදියට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සෞදිය සමඟ හිත් අමනාපකම් ඇති කර ගැනීමට නොහැකි බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවධාරණය කර ඇත.

සෞදි අරාබිය ඇමෙරිකාවේ සමීපතම මිතුරා බවත්, ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී පවා සෞදි අරාබියෙන් ඇමෙරිකාවට ලැබෙන සහාය ඉතා වැදගත් බවත් ඇමෙරිකා ජනාධපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

‘සියලූම ආකාරයේ ත‍්‍රස්තවාදීන්ට සහ ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට ඇමෙරිකාවට ශක්තියක් වී ඇත්තේ සෞදියයි. ඒ නිසා සෞදිය සමඟ කීයටවත් තරහා වෙන්න ඇමෙරිකාවට බැහැ. ඉරානය හෝ වෙනත් රටවලට එරෙහිව ඇමෙරිකාව ගන්නා තීන්දු සහ තීරණවලදී ඇමෙරිකාවේ සහායට සිටින්නේ සෞදියයි’ යැයි ඇමෙරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

1979 ඉරාන විප්ලවයෙන් පසු, ඇමෙරිකාව සහ ඉරානය අතර ඇයිහොඳයිකම් බිඳ වැටුණි. අද ඉරානය සහ ඇමෙරිකාව අතර එදිරිවාදිකම් පවතින්නේ ද ඒ අනුවය. ඉරානය සමඟ සබඳතා බිඳ වැටෙද්දී, ඇමෙරිකාවේ සගයා වූයේ සෞදියයි.

සෞදිය සහ ඇමෙරිකාව අතර එදා සිට පවතින්නේ ඉතා ශක්තිමත් මිතුදමකි. ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ට‍්‍රම්ප් සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ගියේ ද සෞදියටය. සෞදියේ සල්මාන් රජු සහ ඔටුන්න හිමි සල්මාන් කුමරු ද ට‍්‍රම්ප්ගේ සමීපතම මිතුරෝ වෙති.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS